වැඩබලන ජනාධිපති බව කියමින් රනිල් ජනතාව මර්දනය කරන්න හදනවා


(නිමල කොඩිතුවක්කු)

වැඩබලන ජනාධිපති බව කියා ගනිමින් මේ රටේ හදිසි නීතිය, ඇඳිරි නීතිය දමමින් ජනතාව මර්දනය කිරීමට රනිල් වික්‍රමසිංහ මහතා උත්සාහ කරමින් සිටින බව සමඟි ජනබලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා කොළඹදී අද (13) පැවසීය.

නිරායුධ අරගලකරුවන් මර්දනය කිරීම සඳහා ආයුධ යොදා ගත් ආරක්ෂක අංශ කැඳවමින් කටයුතු කරන ආකාරය සමගි ජන බලවේගය අප්‍රසාදය පළ කරන බවත් මහ ලේකම්වරයා සඳහන් කළේය.

දූෂිත දේශපාලනයට එරෙහි යහපත් ප්‍රතිසංස්කරණ වෙනුවෙන් වෙනුවෙන් සාමකාමීව අරගල කරන ජනතාව වෙනුවෙන් සමගි ජන බලවේගය පෙනීසිටින බවත් කොළඹදී මාධ්‍ය හමුවක් කැඳවමින් ඔහු මේ බව පැවසීය.

විපක්ෂය දිගින් දිගටම සර්වපාක්ෂික ආණ්ඩුවක් පිහිටු වීමට කටයුතු කරද්දී ඒ සියල්ල පසෙකලා අගමැතිවරයා පැසිස්ට්වාදීව  ජනතාව මර්දනය කිරීමට කටයුතු කරන බවත් මහ ලේකම්වරයා කීවේය.

ජනතා ප්‍රශ්නවලට උත්තර ලබා දිය යුත්තේ තුවක්කු වලින් කඳුලු ගෑස් වලින් නොවන බවත් ජන අරගලයට ඇහුම්කම් දී ප්‍රජාතන්ත්‍රවාදීව ගැටලු විසඳන ලෙස අගමැතිවරයාට බල කර සිටින බවත් හෙතෙම පැවසීය.