( ෂේන් සෙනෙවිරත්න)
ගම්පොළ වෙළම්බොඩ ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් කෝටි 22 ක මුදලක් කොල්ල කෑ බව කියන සැකකරුවන් තිදෙනකු මහනුවර කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
ඉකුත් 08වැනි දිනදී මෙම කොල්ලය සිදුව තිබුණේ වෙළම්බොඩ ප්‍රදේශයේ අදාල ව්‍යාපාරිකයාගේ නිවස තුළදී බව පොලිසිය කියයි.
මෙම ව්‍යාපාරිකයාට සැකකරුවන් විසින් කැරට් විසිහතරේ රත්තරන් බිස්කට් එකක් ලබාදී එහි ගුණාත්මක බව පරීක්‍ෂා කරනලෙස දැනුම් දී තිබෙන අතර ඒ අනුව ව්‍යාපාරිකයා එය පරීක්ෂා කිරීමේදී එය නියම කැරට් විසිහතරේ රත්තරන් අනාවරණය වී තිබේ.
ඉන් අනතුරුව සැකකරුවන් ව්‍යාපාරිකයාට දැනුම් දී ඇත්තේ ඒ ආකාරයේ තවත් රත්තරන් බිස්කට් කිලෝ 15ක් ඇති බවත් ඒ සඳහා රුපියල් කෝටි 22ක් අවශ්‍ය බවත්ය.
ඒ අනුව ව්‍යාපාරිකයා විසින් ඔහුගේ රුපියල් කෝටි ගණනක් වටිනා ජීප් රථයක් හා නිවසේ අඹු දරුවන්ගේ ස්වර්ණාභරණද උකස් කොට තවත් යාළු හිත මිත්‍රාදීන්ගෙන් මුදල් ණයට ලබාගෙන රුපියල් කෝටි විසි දෙක සකසාගෙන තිබේ.
කතිකා කරගත් පරිදි ඉකුත් 08වැනි දින පුද්ගලයන් 08 දෙනකු වෑන් රථයකින් පැමිණ ව්‍යාපාරිකයාගේ නිවසේ සිටි අනිකුත් සාමාජිකයන් සූක්ෂම ලෙස වෙනත් නිවසකට පිටත්කොට යවා ව්‍යාපාරිකයාගෙන් එම මුදල් පැහැරගෙන පලා ගොස් තිබේ.