වවුනියාවේ හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඇතුළු 6 කට නඩු


(මනෝප‍්‍රිය ගුණසේකර)

රිය අනතුරක් සිදුකිරීම සම්බන්ධයෙන් හිටපු පාර්ලිමෙන්තු මන්ත‍්‍රී ජේ. ශ්‍රී රංගා මහතාට එරෙහිව හා එම රිය අනතුර පිළිබඳව තොරතුරු වසන් කර රිය අනතුර සිදුකළ සැකකරුට එරෙහිව නීතීය ක‍්‍රියාත්මක නොකර ඔහුට පළා යෑමට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් වව්නියාව හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා, පොලිස් අධිකාරීවරයා ඇතුළු පොලිස් නිලධාරීන් 6 දෙනෙකුට එරෙහිව නීතීපතිවරයා වව්නියාව මහාධිකරණය හමුවේ අද (7) වෙන වෙනම නඩු පැවරීය.

රිය අනතුරක් සිදුකිරීම සම්බන්ධයෙන් මෙන්ම එම රිය අනතුර පිළිබදව තොරතුරු වසන් කර රිය අනතුර සිදුකළ සැකකරුට නීතීය ක‍්‍රියාත්මක නොකොට ඔහුට පළා යෑමට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් සිදුකළ දීර්ඝ විමර්ශනයකින් පසුව නීතීපති ජනාධිපති නීතීඥ දප්පුල ද ලිවේරා මහතාගේ උපදෙස් අනුව විත්තිකරුවන්ට එරෙහිව මෙලෙස නඩු පැවරූ බව නීතීපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනී රජයේ ජ්‍යෙෂ්ඨ නීතීඥ නිශාරා ජයරත්න මෙනෙවිය පැවසුවාය.

2011 මාර්තු මස 30 වැනිදා හෝ ඊට ආසන්න දිනයක සෙට්ටිකුලම් ප‍්‍රදේශයේදී ලියාපදිංචි නොකළ වාහනයක් අපරීක්‍ෂාකාරීව, අධික වේගයෙන්, නොසැළකිලිමත් අන්දමින්, මාර්ග සළකුණු නොසළකමින්, මාර්ගයේ විරුද්ධ දිශාවෙන් ධාවනය කොට උදය ජයමිණි පුෂ්පකුමාර නමැත්තාගේ මරණය සිදුකළ බවට විත්තිකරුට එරෙහිව නීතීපතිවරයා විසින් චෝදනා හතරක් යටතේ නඩු පවරා ඇත.

වාහනයක් ලියාපදිංචි නොකොට සන්තකය දැරීමේ චෝදනාව යටතේද විත්තිකාර හිටපු පාර්ලිමෙන්තු මන්ත‍්‍රී ජේ. ශ්‍රී රංගා මහතාට එරෙහිව නීතීපතිවරයා විසින් වැඩිදුරටත් චෝදනා නඟා ඇත.

හිටපු පාර්ලිමෙන්තු මන්ත‍්‍රී ජේ. ශ්‍රී රංගා මහතාට අමතරව එලෙස නඩු පවරා ඇත්තේ අමරසිරි සේනාරත්න, සුගත් රොෂාන් සංජීව, හරිස්චන්ද්‍ර බණ්ඩාර, ප‍්‍රියදර්ශන හේරත් සහ ඩබ්ලිව්.ජී. පද්මපාල නමැත්තන්ට එරෙහිවය.

එම අනතුරෙන් හිටපු පාර්ලිමෙන්තු මන්ත‍්‍රී ජේ. ශ්‍රී රංගා මහතාගේ මෝටර් රථයේ ගමන් කළ ඔහුගේ ආරක්‍ෂක නිලධාරීයා ලෙස කටයුතු කළ පොලිස් සැරයන්වරයා මිය ගොස් ඇති අතර එම අනතුර සිදුවන අවස්ථාවේදී මෝටර් රථය පැදවුවේ මියගිය පොලිස් සැරයන්වරයා බවට හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී ජේ. ශ්‍රී රංගා මහතා පොලිසියට දැනුම් දී ඇති නමුත් ඇත්තෙන්ම ඒ අවස්ථාවේදී මෝටර් රථය පදවා ඇත්තේ  මියගිය පොලිස් සැරයන්වරයා නොව හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී ජේ. ශ්‍රී රංගා මහතා බව පොලිස් නිලධාරීන් දැනගෙන සිට ඇතැයි විමර්ශනවලදී හෙළි වී ඇත.