වතු කම්කරුවන්ට දිනකට රුපියල් 1000 ක්


(රංජිත් රාජපක්ෂ)

වතු කම්කරුවන්ගේ දිනක වැටුප රු. 900 ක් සහ දීමනාවක් වශයෙන් රු.100 ක් ලබාදිය යුතු බවට වැටුප් පරිපාලක සභාව අද (08) තීරණය කළ බව ලංකා කම්කරු කොංග්‍රසයේ භාණ්ඩාගාරික සහ නුවරඑළිය දිස්ත්‍රික් පා.ම මරුදපාණ්ඩි රමේෂ්වරන් මහතා පැවසීය.

වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි කිරීම සම්බන්ධයෙන් අද විශේෂ සාකච්ඡාවක් කම්කරු අමාත්‍යංශයේදී කම්කරු කොමසාරිස් ජෙනරාල්වරයාගේ ප්‍රධානත්වයෙන් වතු වෘත්තිය සමිති සහ වතු සමාගම්වල ප්‍රධාන විධායක නිලධාරින්ගේ සහභාගීත්වයෙන් පැවැත්විණ.  

එහිදී වතු කම්කරුවෙකුගේ දිනක මුලික වැටුප රු. 565 ක් දක්වා ඉහළ දැමීමට යෝජනාවක් ඉදිරිපත් වී ඇති අතර වතු වෘත්තිය සමිති සහ රජය මගින් වතු කම්කරුවෙකුගේ දෛනික මුලික වැටුප රු 900 ක් සහ දීමනා වශයෙන් රු 100 ක දීමනාවක් ගෙවිය යුතු බවටද යෝජනාවක් ඉදිරිපත් කර ඇත.

මෙම යෝජනා සම්බන්ධයෙන් වැටුප් පරිපාලක සභාවේ පැවති ඡන්දනයෙන් වතු කම්කරුවෙකුට දිනකට රුපියල් 1000ක් ගෙවිය යුතු බවට ගෙනා යෝජනාවට ඡන්ද 11 ක්ද, වතු සමාගම් ගෙනා යෝජනාවට ඡන්ද 8 ක් ලැබුණු බව මන්ත්‍රීවරයා කියාසිටියේය.

වැටුප් පරිපාලක සභාව විසින් වතු කම්කරුවෙකුට රුපියල් 1000ක දෛනික වැටුපක් ගෙවිය යුතු බවට ගෙනා යෝජනාව වැඩි ඡන්දයෙන් සම්මත වු නිසා එය ගැසට් පත්‍රයක් මගින් ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව වතු සමාගම් විසින් වතු කම්කරුවන්ට දිනකට රුපියල් 1000ක වැටුපක් ගෙවිය යුතු වන බව මරුදපාණ්ඩි රමේෂ්වරන් මන්ත්‍රීවරයා කියා සිටියේය.

එම සාකච්ඡාවලින් අනතුරුව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් ජීවන් තොණ්ඩමන් මහතා, ලංකා කම්කරු කොන්ග්‍රසයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති සෙන්දිල් තොණ්ඩමන් මහතා සහ අග්‍රාමාත්‍යය මහින්ද රාජපක්ෂ මහතා හමු වී වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි කිරීමට රජය කටයුතු කිරීම සම්බන්ධයෙන් සිය ස්තුතිය පළ කළ බවද මරුදපාණ්ඩි රමේෂ්වරන් මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසීය.