ලේ බැංකුව ලේ ඉල්ලයි


(ඩයනා උදයංගනී)

කොවිඩ් වසංගත තත්වය සමඟ රුධිරය දන්දීමේ වැඩසටහන් ද අවලංගු වීම නිසා රුධිර හිඟයක් මතුව ඇතැයි ජාතික රුධිර පාරවිලයන සේවය පවසයි.

මෙම තත්ත්වය හමුවේ වඩාත් සුදුසු වන්නේ සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයන්ට අනුකලව රුධිර බැංකු තුළ දී රුධිරය දන් දීම බැවින් හැකි අය සිටී නම් දිවයිනේ ප්‍රධාන රෝහල් සහ රුධිර මධ්‍යස්ථාන වලට ගොස් රුධිරය ලබාදෙන ලෙස එම සේවය ඉල්ලීමක් කරයි.

මේ සඳහා නාරහෙන්පිට රුධිර මධ්‍යස්ථානය උදෑසන 8 සිට සවස 6 තෙක් විවෘතව පවතින බවත්, ඊට අමතරව රාගම, මහරගම, කුරුණෑගල සහ අනුරාධපුරය රෝහල්වලට හෝ ඕනෑම රුධිර මධ්‍යස්ථානයකට උදෑසන 8.00ත් පස්වරු 4.00ත් අතර කාලයේදී පැමිණ රුධිරය ලබාදිය හැකි බවත් එහි ප්‍රකාශකයෙක් පැවසීය.

එමෙන්ම nbts.health වෙබ් අඩවිය හරහා පහසු වේලාවක් ලියාපදිංචි ලබාගෙන රුධිරය පරිත්‍යාග කළ හැකි බව ද ඔහු කීවේය.

තැලසීමියාවෙන් පෙලෙන යොවුන් ළමා තරුණ වැඩිහිටි අයට, මහරගම අපේක්ෂා රෝහලේ රෝගීන්ට, කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු ඒකකයට, රිජ්වේ ළමා රෝහලට, ගර්භණී මවුවරුන්ට ආදී වශයෙන් දෛනිකව විශාල රුධිර අවශ්‍යතාවයක් පවතින බව ද ඔහු සඳහන් කළේය.

මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු 011 5332153 හෝ 011 2369931 - 4 දුරකතන අංකයන්ගෙන් ලබාගත හැක.