ලූවර් කෞතුකාගාරයට හොරු පනිති


(විමුක්ති එස් රුද්‍රිගු)

මොනාලිසා ඇතුළු ලොව සුප්‍රසිද්ධ ඓතිහාසික කෞතුක වස්තු කිහිපයක් තැන්පත් කර ඇති පැරිසියේ සුප්‍රසිද්ධ කෞතුකාගාරයක් වන ලූවර් හි තිබූ නැපෝලියන් සහ ප්‍රංශ අධිරාජිනියගේ මිලකළ නොහැකි ආභරණ එකතුවකින් ආභරණ නවයක් මංකොල්ල කෑමත් සමග එම කෞතුකාගාරය වසා දැමීමට එහි බලධාරීහු කටයුතු කළහ.

කොල්ලකරුවන් ස්කූටරයකින් පැමිණ භාණ්ඩ සෝපානයක් භාවිතා කර ආභරණ තිබූ කාමරයට ළඟාවී ඇති බවත් කුඩා දම්වැල් සහ කියත් භාවිත කරමින් මංකොල්ලය සිදුකර ඇති බවත් වාර්තා විය. ලූවර් කෞතුකාගාරය විවෘත කළ අවස්ථාවේ මංකොල්ලය සිදුව ඇති බවත් විනාඩි හතක් තුළ මංකොල්ලය සාර්ථකව සිදුකර මංකොල්ලකරුවන් පළගොස් ඇති බවත් අනාවරණය වූවේය.

තවමත් සොරකම් කළ භාණ්ඩවල වටිනාකම එරට බලධාරීන් ඇස්තමේන්තු කරමින් සිටින බවත් මංකොල්ලය සඳහා පුද්ගලයන් තිදෙනෙකු පැමිණ ඇති බව හඳුනාගෙන තිබෙන බවත් සඳහන් විය.

මොනාලිසා ඇතුළු ලොව සුප්‍රසිද්ධ ඓතිහාසික කෞතුක වස්තු කිහිපයක් තැන්පත් කර ඇති පැරිසියේ සුප්‍රසිද්ධ කෞතුකාගාරයක් වන ලූවර් හි මංකොල්ලයක් සිදුව ඇති බවට ප්‍රංශ සංස්කෘතික අමාත්‍ය රචිටා ඩාටි එක්ස් සමාජ මාධ්‍යයේ සටහනක් තබමින් ඊයේ(19) පැවැසුවාය.