ලුතිනන් කර්නල් අමුණුපුර රටෙන් ගෙන්වන යෝජනාවට ජනපතිගේ නොසතුට


ඩයනා උදයංගනී
 
මාලි රාජයේ එක්සත් ජාතීන්ගේ  සාම සාධක කටයුතුවලට අනුයුක්තව රාජාකාරී කරන  ශ්‍රී ලංකා යුද හමුදා භට කණ්ඩායමේ  අණ දෙන නිලධාරී ලූතිනන් කර්නල් කළණ අමුණුපුර මහතා නැවත ශ්‍රී ලංකාවට කැඳවා ගන්නා ලෙසට එක්සත් ජාතීන්ගේ සංවිධානය කර ඇති ඉල්ලීම සම්බන්ධයෙන් එකඟ විය නොහැකි බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා  අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී පවසා ඇත.

 
මෙරට යුද්ධය පැවති සමයේ මෙන්ම මාලි රාජ්‍යයේ ද විශාල සේවාවක් ඉටු කළ කළණ අමුණුපුර මහතා එසේ ගෙන්වාගන්නැයි කීම අනුමත කළ නොහැකි බව ද ජනාධිපතිවරයා එහිදී පැවසූ බව ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මාධ්‍ය ප‍්‍රකාශක, වරාය හා නාවික කටයුතු අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා පැවසීය.
 
ඔහුට මානව හිමිකම් කඩකිරීමේ චෝදනා එල්ල කිරීම කර ඇත්තේ දරුස්මාන් කමිටුවේ සාමාජිකයෙක් වන දකුණු අප‍්‍රිකාවේ ජෙස්මින් සුකා සාමාජිකත්වය දරණ රාජ්‍ය නොවන සංවිධානයක් බව ද ජනාධිපතිවරයා මෙහිදී පවසා තිබේ.
 
ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම ද ලූතිනන් කර්නල්වරයාට එම චෝදනාව එල්ල කර ඇති බව අමාත්‍ය මණ්ඩල හමුවේදී ඇමතිවරයෙක් පැවසූ බව පැවසූ මහින්ද සමරසිංහ මහතා පසුව තමා ඒ ගැන සොයා බැලූ නමුත් ඔහුට එවැනි චෝදනාවක් ඇති බව සොයාගැනීමට නොහැකි වූ බව ද කීවේය.
         
මහින්ද සමරසිංහ මහතා මේ බව පැවසුවේ කොළඹ, ඩාර්ලි පාරේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මූලස්ථානයේදී අද (25) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.