ලලිත් වීරතුංග-අනූෂ පැල්පිට ගොනුකළ අභියාචන විභාගය කල් යයි


( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )

කොළඹ මහාධිකරණයෙන් වසර තුනක සිර දඩුවම් නියමව දැනට ඇප මත මුදා හැර සිටින හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග සහ විදුලි සංදේශ නියාමන කොමිසමේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් අනුෂ පැල්පිට යන අය විසින් තමන් නිදොස් කොට නිදහස් කරනැනැයි ඉල්ලා ගොනු කළ අභියාචනා පෙත්සම් විභාගයට ගැනීමට ලබන ජූලි 23 වැනිදාට කල් තැබීමට අභියාචනාධිකරණය  අද  (09) තීන්දු කළේය.

ලලිත් වීරතුංග සහ අනුෂ පැල්පිට විසින් ඉදිරිපත් කළ එම පෙත්සම් අද  (09) කුමුදිනී වික්‍රමසිංහ සහ දේවිකා අබේරත්න මහත්මීන් හමුවේ අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ කැඳවනු ලැබීය.
 
එහිදී එම විනිසුරු මඩුල්ල මෙම අභියාචනා පෙත්සම් විභාගයට ගැනීම මෙදිනට කල් තබන ලදී.
 
ඉකුත් ජනාධිපතිවරණය සමයේ දිවයින පුරා විහාරස්ථානවලට සිල් රෙදි බෙදා හැරීම හරහා  රජයට අයත් රුපියල් මිලියන 625 ක මුදල් අවභාවිත කිරීම හා පාඩුවක් සිදු කිරීමේ චෝදනාවට විත්තිකාර අභියාචකයින්ට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා නඩු විභාගයක් පැවතණි.එමනඩු විභාගයේ තීන්දුව ඉකුත් 2017 සැප් 07 වැනිදා ප්‍රකාශයට පත් කෙරුණු අතර එහිදී වැරදිකරු බවට තීන්දු කෙරුණු හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතාට සහ විදුලි සංදේශ නියාමන කොමිසමේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් අනූෂ පැල්පිට යන අයට කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා විසින් බරපතළ වැඩ සහිත වසර තුනක සිර දඬුවම් හා මිලියන 2 බැගින් වන දඩ මුදලක් සහ මිලියන 50 ක වන්දි මුදලක් නියම කළේය.
 
එම දඩ මුදල් හා සිර දඩුවම් නියම කර ඇති ආකාරය නීති විරෝධී යැයි  පෙන්වා දෙමින් අභියාචනා ඉදිරිපත් කරන පෙත්සම්කරුවන් එම දඬුවම අහෝසි කර තමන් ව සියලූ
 
චෝදනාවලින් නිදොස්කොට නිදහස් කිරීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ද අභියාචනාධිකරණයෙන් ඉල්ලා තිබිණි.
 
විත්තිකාර අභියාචක පෙත්සම්කරුවන් වන හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග සහ අනුෂ පැල්පිට යන මහත්වරුන් වෙනුවෙන් නීතීඥ කාංචන රත්වත්තේ සහ නීතිපතිවරයා වෙනුවෙන් රජයේ නීතීඥ ජයලක්ෂි සිල්වා මහත්මිය පෙනී සිටියහ.