ලක්සල බඩු පිටරටටත් යයි


(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න )

ලක්සල ආයතනයේ  දේශීය භාණ්ඩ විදේශයන්ට  විකිණීමේ වැඩපිළිවෙළක් ආරම්භ කර ඇතැයි බතික් අත්යන්ත්‍ර රෙදි හා දේශීය ඇඟලුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පාර්ලිමේන්තුවේදී අද (6) පැවැසීය.

මේ සම්බන්ධයෙන්  රටවල් කිහිපයක් සමග  ගිවිසුම් අත්සන් කර ඇතැයිද  හෙතෙම සඳහන් කළේය.

ජයසේකර මහතා මෙසේ පැවසූවේ  කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී ශාන්ත බණ්ඩාර මහතා ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

කොරෝනා  සමයේදී සංචාරක ව්‍යාපාරය අඩපණ වීම  නිසා   ලක්සල ආයතනය 
කඩාවැටීමකට ලක්ව තිබූ බවද  ඔහු පැවසුවේය.

මෙම වැඩපිළිවෙල යටතේ ඩුබායි රාජ්‍යය ඇමරිකාව සහ  ජපානය සමග  ගිවිසුම්  අස්සන් කළ බවත් මහා බ්‍රිතාන්‍ය, රුසියාව, චීනය ඕස්ට්‍රේලියාව  සමගද ඉදිරියේදී ගිවිසුම් අස්සන් කරන බවත්  රාජ්‍ය ඇමැතිවරයා  ප්‍රකාශ කළේය.

මුල්ම ගිවිසුම අත්සන් කළේ ඇමරිකාවේ ෆ්ලොරීඩා ප්‍රාන්තය  සමග බවත්  එම ප්‍රාන්තයට  ලක්සල භාණ්ඩ කන්ටේනර් දෙකක්  ලබන සතියේදී පිටත් කර යවන බවත්  ජයසේකර මහතා පැවැසීය.

මෙය ග්‍රාමීය බතික් සහ වෙනත් අත්යන්ත්‍ර  නිර්මාණ නිෂ්පාදකයන්ට හොඳ අවස්ථාවක් බවද
ඔහු පැවසුවේය.

මෙයට අමතරව තේ සහ කුළුබඩු පිටරට යැවීමටද වැඩපිළිවෙළක් සකසා ඇතැයි ජයසේකර මහතා කීවේය.