ලක්ෂ 10 ක මත්කුඩු මීගොඩින් අල්ලයි


(කේ බුද්ධික කුමාරසිරි  සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ  )

විදෙස් රටකට පලා ගොස් සිටින ප්‍රබල පාතාලා කල්ලි නායකයෙකු බව කියන කෙසෙල්වත්තේ දිනුක නමැත්තාගේ සමීපමතමයෙකු වන “ආදුරුප්පුවීදියේ අශේන්” නමැත්තා හෙරොයින් මත්කුඩු සමග අද (20) දින පාදුක්ක ජයමුතුගම ප්‍රදේශයේදී අත් අඩංගුවට ගත් බව මීගොඩ පොලිසිය පවසයි.

අත්ඩංගුවට ගත් අවස්ථාවේ ඔහු සතුව ග්‍රෑම් 50 මිලි ග්‍රෑම් 100 ක් තිබී ඇත .  ඒවායේ  වටිනාකම රුපියල් ලක්ෂ 10 පමණ වටිනාකමක් ඇති බවද පොලීසිය කියයි.

සැකකරු කෙසෙල්වත්තේ දිනුකට අයත් බව කියන හෙරොයින් මත්කුඩු බෙදා හැරීමේ නිරතව සිට ඇති බවත් පාදුක්ක සහ තදාසන්න ප්‍රදේශවල නියෝජිතයන් වෙත මත්කුඩු ලබා දීමට පැමිණ සිටි අවස්තාවේදී මීගොඩ පොලිසියේ බුද්ධි නිළදාරියෙකුට ලද තොරතුරක් මත සැකකරු අත් අඩංගුවට ගෙන පරීක්ෂා කිරීමේදී සැකකරුගේ කලිසමේ සූක්ෂම ලෙස සකස් කර තිබූ පොකැට්ටුවක් වැනි කොටසක තිබී මෙම මත්කුඩු තොගය සොයා ගත් බවද පොලිසිය පවසයි

මෙලෙස අත් අඩංගුවට ගත් සැකකාර “ආදුරුප්පුවීදියේ අශේන්” නැමැති පුද්ගලයා කෙසෙල්වත්ත දිනුක නමැති පාතාල ක්‍රියාකරුගේ අසල්වාසියෙකු බවත් ඔහුගේ උපදෙස් පරිදි බෙදා හරිනු ලබන මත්කුඩු අවශ්‍ය ස්තාන වෙත ගෙන ගොස් ලබා දිමෙන් මුදල් උපයා ගෙන ඇති බව ඇතුළු තවත් කරුණු  රැසක් අනාවරණය කර ගැනිමට හැකි වූ බවත් සැකකරුගෙන් ලද තොරතුරු මත තවත් කිහිප දෙනෙකු අත් අඩංගුවට ගැනීමට කටයුතු කරන බවද මීගොඩ පොලිසියේ උසස් නිළදාරියෙකු පැවසීය

සැකකරු සහ මත්කුඩු අද (20) දින හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත වේ

( ඡායාරූප - බුද්ධික කුමාරසිරි )