ලංකාව ආනයනය කරන ඖෂධවලින් සියයට 80 ක් අනෙක් රටවල් ආනයනය කරන්නෑ


ශ්‍රී ලංකාව ආනයනය කරන ඖෂධවලින් 80%ක් වෙනත් කිසිදු රටක් ආනයනය කරන්නේ නැතැයි ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ඖෂධවේදී ගෝපි ක්‍රිෂාන්ත ද සිල්වා මහතා ඊයේ (01) පැවසීය.

2015 වසරේ ජනවාරි 15 වැනිදා සිට 2018 වසරේ දෙසැම්බර් 31 වැනිදා දක්වා සිදු වූ මහා පරිමාණ දූෂණ චෝදනා සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කරන ලද ජනාධිපති විමර්ශන කොමිසමන් සභාව හමුවේ සාක්කි දෙමින් ක්‍රිෂාන්ත ද සිල්වා ඒ බව සඳහන් කළේය.

ඔහුගේ ප්‍රකාශයට ප්‍රතිචාර දැක්වූ කොමිසමේ සභාපති උපාලි අබේරත්න මහතා සාක්කිකරු අදහස් කළ ආකාරයේ තත්ත්වයක් ඇතිවීමට හේතු සොයා බලන ලෙස කොමිසමේ නිලධාරීන්ට නියම කළේය.

විවිධ රටවලින් ශ්‍රී ලංකාවට මිල අධික ඖෂධ ආනයනය කෙරෙන නමුත් ඒවා ගුණාත්මකභාවයෙන් අඩු බවද සභාපතිවරයා සඳහන් කළේය.

පියයුරු පිළිකා රෝගයෙන් පෙළෙන රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා රුසියාවෙන් ගෙන්වන ලද හර්ට්කැඞ් නමැති ඖෂධය සම්බන්ධයෙන් ද මෙම සාක්කිකරු සාක්කි දුන්නේය.

එම ඖෂධය නිකුත් කර ඇත්තේ රුසියාවේ ඖෂධ නියාමන අධිකාරියෙන් නොවන බවත්, එය නිකුත් කර ඇත්තේ එරට කර්මාන්ත සහ වෙළෙඳ සම්මේලනයෙන් බවත් ඔහු සඳහන් කළේය. ජනාධිපති කොමිසන් සභාව මේ සම්බන්ධයෙන් ජාතික ඖෂධ නියාමන අධිකාරියෙන් කරුණු විමසූ විට සාක්ෂිකරු මෙරට නියෝජිතවරයා ලබා දුන් ලියවිල්ලක් කොමිසන් සභාවට ඉදිරිපත් කළේය.

එම ලිපියට අනුව රුසියානු රජය ඖෂධ නිෂ්පාදන සහතිකය නිකුත් නොකරයි. ජාතික ඖෂධ නියාමන අධිකාරිය පිහිටුවීමට 2015 වසරේදී ඖෂධ සහ විලවුන් අධිකාරියේ වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා මහතා නිකුත් කළ ලිපියක් ද සාක්ෂිකරු මෙහිදී කොමිසමට ඉදිරිපත් කළේය. එම ලිපියට අනුව පසුගිය වසර තුනක කාලයේදී ඉහත කී ඖෂධය සම්බන්ධයෙන් අපනයන තොරතුරු ලැබී නැත.

ඬේලි මිරර් පුවත්පතෙනි

055