ලංකාදීප මැදිරිගිරිය මාධ්‍යවේදිනිට පහර දෙන්න හදයි


(නිමල් ජයරත්න)

මැදිරිගිරියේ පාසලක ගුරුවරුන් ලෙඩ නිවාඩු දමා සේවයට නොපැමිණීමේ සිද්ධියක්  වාර්තා කිරීමට ගි‍ය ලංකාදීප මැදිරිගිරිය  ප්‍රාදේශීය මාධ්‍යවේදිනි චාපා මධුභාෂිණි මහත්මියට මවුපියෝ පිරිසක් පහරදීමට උත්සහ කරමින් ඇගේ රාජකාරියට බාධා කරමින්  දැඩි විරෝධයක් එල්ල කළහ.

විද්‍යාලයේ විශ්‍රාමික ගුරුවරයකු ඇතුළු දරුවන්ගේ මව්පියන් පිරිසක් අද ( 05) සයමස් ගැබිණිමක වූ අප මාධ්‍යවේදිනි ගමන් ගත් යතුරු පැදිය නතර කරවා ඇය යතුරු පැදියේ ආසනය මත වාඩි වී සිටියදී  යතුරුපැදියට පහරදී, ඉතා අනාරක්ෂිත තත්වයට පත් කර ඇත.

වාර්තාකාරිනියගේ  ජංගම දුරකථනයේ  තිබූ ඡායාරූප සහ වීඩියෝ බලහත්කාරයෙන් මකා, ඇයට පරුෂ වචනයෙන් බැන තර්ජනය කළ බවට ඇය අද මැදිරිගිරිය පොලිසියට පැමිණිල්ලක් කර ඇත.

ඇය මෙම සිද්ධියට මුහුණ පා ඇත්තේ එම විදුහලේ ගුරුවරුන් ලෙඩ නිවාඩු දමා රාජකාරියට වාර්තා නොකිරීම නිසා පාසලට පැමිණි දරුවන් සම්බන්ධයෙන් වාර්තාවක් ලබා ගැනීමට ගිය අවස්ථාවේය. 

තමාට එම විද්‍යාලයේ විශ්‍රාමික ගුරුවරයකු සහ මව්පියන් පිරිසක් පරුෂ වචනයෙන් බැන තර්ජනය කර යතුරු පැදියට පහර දුන් බවත්, තම ජංගම දුරකථනයේ තිබූ වීඩියෝ දර්ශන සහ ඡායාරූප ඔවුන්  බලහත්කාරයෙන් විසන්ධි කළ බවද චාපා මදුශානි මහත්මිය පැවසුවාය.

තමාගේ යතුරුපැදියට පහර දී බැන තර්ජනය කර පරුෂ වචනයෙන් බැණ වදිමින්, ප්‍රකෝපකාරීව හැසිරුණු විශ්‍රාමික ගුරුවරයා හා මාපියන් තමා වට කරගෙන පහරදීමට උත්සාහ කර බවත්, මේ පිළිබඳව මැදිරිගිරිය පොලිසියට දුරකථනයෙන් දැනුම් දීමත් සමග, විශේෂ  පොලිස් කණ්ඩායමක් එම පාසලට ගොස් ප්‍රකෝපකාරි ලෙස හැසිරුණු මව්පියන්ට තරයේ අවවාද කරමින් අප මාධ්‍යවේදිනිය නිදහස් කර ගත්තේය.