රෝයල් පාක් ඝාතකයා ගෙන්න නීතිපති සහය පතයි


(සුජිත් හේවාජුලිගේ)

රාජගිරිය රෝයල් පාක් නිවාස සංකීර්ණයේදී ස්වීඩන් ජාතික ඉවෝන් ජොන්සන් නමැති තරුණිය කෲර ලෙස ඝාතනය කිරීමේ චෝදනාවට වරදකරුවකු වී  මරණීය දණ්ඩනය නියමවී සිටියදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් නිදහස් කෙරුණු ජූඩ් ශාමන්ත ජයමහ නැමැත්තා සම්බන්ධයෙන් අනුගමනය කළ යුතු නීතිමය ක්‍රියා පටිපාටිය විමසා නීතිපතිවරයාට ලිපියක් යොමු කළ බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පැවසීය.

නීතිපතිවරයාගෙන් ලැබෙන උපදෙස් අනුව මේ සම්බන්ධයෙන් කටයුතු කිරීමට බලාපොරොත්තු වන බව  මහජන ආරක්ෂක අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

ජූඞ් ශ්‍රමන්ත ජයමහ  නමැත්තා ජනාධිපති සමාව දී නිදහස් කිරීමට හිටපු ජනාධිපති මෛත්‍රිපාර සිරිසේන  මහතා ගත් තීරණය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට ශ්‍රේෂ්ඨාධිකරණය පසුගිය 6  වැනිදා තීරණය කළේය.

මෙම තීරණයෙන් අගතියට පත් වූ පෙස්සම්කරුට හා ඝාතනයට ලක් වූ තරුණියගේ මවුපියන්ට රුපියල් ලක්‍ෂ දහය බැගින් ලක්ෂ තිහක වන්දි ගෙවීමටද මෙහිදී නියම කෙරිණ.

මරණ දඬුවමින් නිදහස් කිරීමෙන් පසු විත්තිකාර ජයමහ නැමැත්තා  විදේශගතවිය. දැනටමත් ඔහු සිටින්නේ  විදේශයක බව  පැවසේ.

රෝයල් පාක් ඝාතන සිද්ධිය සිදුවූයේ 2005 වසරේ ජූලි මස  1 වැනිදාය.