( +++ නිමන්ති රණසිංහ)
“සුදු වෑන් මාධ්‍ය සාකච්ඡාවට” සහභාගී වූ සැකකරුවන් දෙදෙනාට රුපියල් ලක්ෂ 20ක මුදලක් දෙන ලදැයි කියන රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති ආචාර්ය මොහොමඞ් කාසිම් මොහොමඞ් රූමි මහතාට ඇප ලබා දෙන ලෙසට ඉල්ලීමක් කරමින් ඔහුගේ නිතීඥවරුන් අධිකරණය හමුවේ ඉදිරිපත් කළ මෝසමක් ඊයේ (02) නැවත ඉවත්කරගෙන තිබේ.
අධිකරණ නිවාඩු දිනයක් වූ ඊයේ (02) දිනයේ අධිකරණයේදී කැඳවනු ලැබුවේ වරෙන්තු ආපසු කැඳවීම සඳහා වන මෝසම් පත්‍ර පමණක් බවත් වෙනත් විශේෂ මෝසම් පත්‍ර නොකැඳවෙන බවත් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය කළ සදහන් කිරීම මත එම මෝසම නැවත ඉවත්කරගෙන ඇත.
තම සේවාදායකයාට ඇප ලබාදීම සලකා බලන ලෙසට ඉල්ලමින් ආචාර්ය මොහොමඞ් කාසිම් මොහොමඞ් රූමි මහතාගේ නිතීඥවරුන් විසින් ඊයේ (02) පෙරවරු 9.00ට පමණ මෙම මෝසම අධිකරණය වෙත ඉදිරිපත් කර තිබිණී.
“සුදු වෑන් මාධ්‍ය සාකච්ඡාවට” සහභාගී වූ සැකකරුවන් දෙදෙනා වන කොටහේන පදිංචි ඩබ්ලිව්.ජී. අතුල සංජීව මදනායක (46) නොහොත් “උණ්ඩියල් අතුල” සහ අම්පාර පදිංචි එස්.ඩබ්ලිව්.ඒ. සරත් කුමාර (45) යන අයට එම මාධ්‍ය සාකච්ඡාව වෙනුවෙන් රුපියල් ලක්ෂ 10 බැගින් රුපියල් ලක්ෂ 20ක මුදලක් ලබා දී ආධාර අනුබල දුන්බව කියන ආචාර්ය මොහොමඞ් කාසිම් මොහොමඞ් රූමි මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ගොස් භාරවූයේ ඉකුත් 31 වැනිදාය. පසුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගත් සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 06 වැනිදා තෙක් රක්ෂිතභාරයේ තැබීමට නියම විය.
එසේම, මෙහි පළමු සහ දෙවැනි සැකකරුවන් ද ලබන 06 වැනිදා තෙක් රක්ෂිත භාරයේ තැබීමට ද අධිකරණ නියෝග නිකුත් වී තිබූ අතර, මෙහි සිව්වැනි සැකකරු වන හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ද එදින අධිකරණය හමුවේ ඉදිරිපත්වීමට නියමිතව ඇත.

