රුහුණු සරසවියේ සිසුන් 19 දෙනා යළි රිමාන්ඩ්


(ක්‍රිෂාන් ජීවක ජයරුක් සහ ජයන්ත ජයවර්ධන)

 

රුහුණ විශ්ව විද්‍යාලයේ පළමු වසරේ සිසුවකුට ලිංගික අඩත්තේට්ටම් සිදුකර පහර දී අමානුෂික ලෙස නවකවධය දුන් බව කියන එම විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති ඇතුළු ජ්‍යෙෂ්ඨ සිසුන් 19 දෙනා ලබන 23 වැනිදා තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස මාතර ප්‍රධාන මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා අද (9) නියෝග කළේය.

මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණේ රුහුණ විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති වෙරංග පුෂ්පික ද සිල්වා, තෙවැනි වසරේ ඉගෙනුම ලබන දර්ශන රුවන්, දිල්ෂාන් තාරක, නවෝද කිත්මල්, හර්ෂ නයනජිත්, සුපුන් සමීර, කසුන් දිනෙත්, එස්.විමලසූරිය, නවීන් හර්ෂණ, ලහිරු සචිත්‍ර, කේ.ලක්ෂාන්, ප්‍රදීප් ධම්මික, නුවන් සම්පත්, ශමිල් නාරද, හර්ෂ දේවප්‍රිය, ඩබ්ලිව්.එම්.රූපසිංහ, කැලුම් විරාජ් හා කපිල රත්නප්‍රියයන සිසුන්ය.

සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් පරික්ෂණ පැවැත්වෙන බැවින් සැකකාර සිසුන් පිරිස රක්ෂිත බන්ධනාගරගත කරන ලෙස පොලීසිය ඉල්ලා සිටියේය.

1998 අංක 20 දරණ නවක වධ පනත යටතේ සැකකාර සිසුන් මාතර මූලස්ථාන පොලීසිය විසින් ඉකුත් අගෝස්තු 6 වැනිදා සැකපිට අත්අඩංගුවට ගැණිනි.

නවක වධයට ලක් වු බව කියන සිසුවා පළමුව තමාට සිදුවු හිරිහැර සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ වීඩියෝවක් නිකුත් කර තිබු අතර පසුව ඔහු මාධ්‍ය හමුවක් කැදවා ඒ බව අනාවරණය කළේය.

ඒ අනුව පොලීසිය සැකකාර සිසුන් අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබිණි.