කොරෝනා වයිරසයේ ව්‍යාප්තිය හේතුවෙන් විදේශ රැකියා සඳහා පිටත්වීම තාවකාලිකව කල් දැමීම සුදුසු යැයි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
ශ්‍රී ලාංකිකයන් වැඩි වශයෙන් රැකියා සඳහා යන මැදපෙරදිග ඇතුළු ආසියානු හා යුරෝපීය රටවල් රැසකට කොරෝනා වයිරසය හේතුවෙන් බලපෑම් එල්ල වීම එම තීරණය ගැනීමට හේතු වී ඇතැයි ද එම කාර්යාංශය කියයි.
නිපුණත සංවර්ධන, රැකී රක්ෂා හා කම්කරු සබඳතා අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සමඟ බලපත්‍රලාභී විදේශ රැකියා නියෝජිතයන්ගේ සංගමය ද එක්ව මෙම තීරණය ගෙන ඇත.
ශ්‍රී ලාංකිකයන් ආරක්ෂා කරගැනීමේ අරමුණින් මෙම තීරණය ගෙන තිබෙන අතර ශ්‍රී ලාංකිකයන් සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගන්නැයි ඔවුන් සේවය කරන රටවල තානාපති කාර්යාලවල කම්කරු අංශ වෙත
දැනටමත් උපදෙස් ලබා දී ඇතැයි ද ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කරයි.
ඒ අනුව තොරතුරු ලබාගැනීම සඳහා එම රටවල තානාපති කාර්යාලවල විශේෂ දුරකතන අංක හඳුන්වා දී ඇතැයි ද ඊට අමතරව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ 1989 ක්ෂණික ඇමතුම් අංකය ඇමතීමෙන් ද අවශ්‍ය උපදෙස් ලබාගත හැකි යැයි එම කාර්යාංශය නිකුත් කළ නිවේදනයේ දැක්වේ.
දැනට විදෙස් ගතව සේවය කරන ශ්‍රී ලාංකිකයන් හා විදේශ ගතවීමට අපේක්ෂා කරන ශ්‍රී ලාංකිකයන් සම්බන්ධයෙන් තීරණ ගන්නේ ඒ ඒ රටවල බලධාරීන් ලබාදෙන උපදෙස්වලට අනුව බවත් එම රටවල රැකියාවලට යොමුවන්නේ නම් සෞඛ්‍ය අංශ දෙන උපදෙස් පිළිපදින ලෙසත් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය වැඩිදුරටත් ඉල්ලා සිටියි.
055

