රාත්‍රී තැපැල් දුම්රිය ධාවනය සීමාකරයි


(යොහාන් භාසුර)

වර්ෂාව හේතුවෙන් ඇතිවී ඇති ආපදා තත්වය හේතුවෙන් ආරක්‍ෂාකාරී පියවරක් ලෙස ප්‍රධාන මාර්ගයේ රාත්‍රී තැපැල් දුම්රිය ධාවනය අද (26) සිට නැවත දැනුම්දෙනතුරු සීමාකිරීමට තීරණය කළ බව දුම්රිය ගමනාගමන අධිකාරී ජී. ඩී. ඒ. සමරසිංහ මහතා පැවසීය.  

ඒ අනුව උඩරට මාර්ගයේ කොළඹ කොටුව සිට බදුල්ල බලා ධාවනය වන රාත්‍රී තැපැල් දුම්රිය නානුඔය දක්වා ද, බදුල්ල සිට කොළඹ කොටුව බලා ධාවනය වන රාත්‍රී තැපැල් දුම්රිය නානුඔය සිට කොළඹ කොටුව දක්වා ද, ධාවනය කරන බව ද සමරසිංහ මහතා කීය.

රාත්‍රී තැපැල් දුම්රියන් නානුඔය සහ බදුල්ල අතර ධාවනය නොවන දිනවලදී නානුඔය සිට බදුල්ල කොටස ඇතුළත් වන පරිදි මුදලට ආසන වෙන්කරවාගත් මගීන්ට එම වෙන්කළ ආසන ප්‍රවේශපත් සඳහා මුදල් වෙන්කිරීමේ පහසුකම් සහිතව ඕනෑම දුම්රිය ස්ථානයකින් ගැනීමට පහසුකම් සළසා ඇති බව ද ඒ මහතා වැඩි දුරටත් සඳහන් කළේය.