රත්නපුරේ විදුහල්පති සිසු අපයෝජනය කාලෙක ඉඳන් කරගෙන ගිහින්


(ඩයනා උදයංගනී)

රත්නපුර දිස්ත්‍රික්කයේ ප්‍රධාන පාසලක සිසුවකු බරපතල ලෙස ලිංගික අපයෝජනයට ලක් කළ බවට සැකපිට අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බන්ධනාගාර ගත කර ඇති එම පාසලේ විදුහල්පතිවරයා කලක පටන් එහි සිසුන් අපයෝජනය කර ඇති බවට තොරතුරු ලැබී ඇතැයි ජාතික ළමා රක්‍ෂක අධිකාරියේ සභාපති, උදය කුමාර අමරසිංහ මහතා පැවසීය.
රත්නපුර ප්‍රධාන පෙළේ පිරිමි පාසලක විදුහල්පතිවරයා එහි සිසුවකු ලිංගිකව අපයෝජනනය කර ඇති බවට අධිකාරියේ හදිසි දුරකතන ඇමතුම් අංකයට ලැබුණු පැමිණිල්ලක් මත සිදුකළ විශේෂ විමර්ශනයකින් පසු ළමා රක්‍ෂක අධිකාරියේ නිලධාරීන් විසින් මෙම විදුහල්පතිවරයා අත්අඩංගුවට ගත් බව ද ඔහු සඳහන් කළේය.

මෙම විදුහල්පතිවරයා දීර්ඝ කාලයක් තිස්සේ ඉතා සූක්‍ෂමව පාසලේ සිසුන් තම නිල නිවාසයට ගෙන්වාගෙන මුදල් ත්‍යාග සහ විවිධ වරප්‍රසාද ලබාදෙමින් ලිංගික අපයෝජනයන් කර ඇති බවට ද සිදුකළ විමර්ශනවලදී තොරතුරු හෙළි වූ බව අමරසිංහ මහතා කීවේය.

විදුහල්පතිවරයා බන්ධනාගාරගත කිරීමෙන් පසු තවත් සිසුන්, ගුරුවරුන් දෙමාපියන් ඔහුට එරෙහි තොරතුරු ලබා දුන් බවත්, ඒවා සත්‍ය තොරතුරුදැයි තහවුරු කරගැනීම සඳහා විමර්ෂණ පවත්වමින් සිටින බවත් ඔහු කීවේය.
එමෙන්ම මෙසේ තොරතුරු ලබාදීම වැළැක්වීම සඳහා පාසලේ ඇතැම් ගුරුවරුන්, ආදි සිසුන් ආදීන් සාක්ෂිකරුවන්ට බලපෑම් කරමින් සිටින බවත් ඔහු කීවේය.

මෙවැනි අපයෝජනයන්ට ලක්වන තවත් දරුවන් සිටිය හැකි බවත්, ඇතැමුන් ලැජ්ජාව සහ බිය නිසා ඒ සම්බන්ධයෙන් පැමිණිලි නොකරන බවත් කී උදය කුමාර අමරසිංහ මහතා මෙවැනි තත්වයන්ට මුහුණ පෑ තවත් දරුවන් වේ නම් ඒ බව ජාතික ළමා රක්‍ෂක අධිකාරියේ 1929 හදිසි ඇමතුම් අංකය ඔස්සේ හෝ 071 8387130 යන තම පෞද්ගලික දුරකතන අංකය ඔස්සේ දැනුම් දෙන ලෙස ඉල්ලීමක් ද කළේය.

මෙසේ තොරතුරු ලබාදෙන දරුවන්, දෙමාපියන් සහ ගුරුවරුන් ආදීන්ගේ පෞද්ගලිකත්වය හා රහස්‍යභාවය ආරක්‍ෂා කරන බව කී සභාපතිවරයා තොරතුරු යටපත් කිරීම සඳහා බලපෑම් කරන පිරිස් වෙතොත් ඔවුන්ට එරෙහිව ද ක්‍රියාමාර්ග ගන්නා බව කීවේය.