රත්ගම ඝාතන නඩුවේ සැකකරුවන් තවදුරටත් රිමාන්ඩ්


(ඩී.ජී.සුගතපාල)
 
රත්ගම ද්විත්ව ඝාතන නඩුවේ  සැකකරුවන් 17 දෙනා ලබන 30වන දින දක්වා තවදුරටත් රිමාන්ඩ්  බන්ධනාගාර ගත කිරීමට ගාල්ල අතිරේක මහේස්ත්‍රාත් පවිත්‍රා සංජීවනි පතිරණ මහත්මිය අද (16)නියෝග කළාය.
 
මෙසේ රිමාන්ඩ් කරනු ලැබුවේ දකුණු පළාත් විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ හිටපු ස්ථානාධිපති  පොලිස් පරික්ෂක කපිල නිශාන්ත සිල්වා, උප පොලිස් පරික්ෂක එච්.ජී.විරාජ් මධුසංක, කොස්තාපල් එච්.ජී. සංජය චානක, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ වලස්මුල්ල කණුමල්දෙණිය රක්ෂිතයේ බීට්ටු නිලධාරී කංකානම්ගේ මාෂල් තුෂාර නලින්ද, දකුණු පළාත් විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ඊ.ඒ.සමන් රෝහණ,  උප පොලිස් පරික්ෂක විදානගේ තිලකරත්න, කොස්තාපල් කොස්තාපල් උපුල් රංජිත්, උප පොලිස් පරීක්ෂක ඩබ්ලිව්. ආර්. විමලසිරි, උප පොලිස් පරික්ෂක ජී. කේ. විමලරත්න, සැරයන් පී. එච්. චමින්ද, සැරයන් එස්.ජී.ප්‍රේමලාල්, කොස්තාපල් වයි.පී.විදානගම, කොස්තාපල් බී.ඒ.ආර්.අසංක, පොලිස් රියදුරු එච්.එම්.එස්.ජයරත්න, වලස්මුල්ල අඩවි වන නිලධාරි ආර්.එස්.සුවාරිස්, කොස්තාපල් අනිල් කුමාර, කොස්තාපල් රාගමුණිගේ විජිත කුමාර යන සැකකරුවෝය.
 
රත්ගම බූස්ස රත්නඋදාගම පදිංචිව සිටි ගොනාපිනුවලගේ  අසේල මංජුල කුමාර සහ කොස්ම රසික් චින්තක නමැති දෙදෙනා ඉකුත් ජනවාරි 23වන දින  පැහැරගෙන ගොස් ඝාතනය කර පුළුස්සා දැමීම සම්බන්ධයෙන් මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රිමාන්ඩ් බන්ධනාගාර ගත කරඇත.
 
පළමුවන සැකකරු භාවිත කර ඇති ජංගම දුරකතනයක් පිළිබඳ දුරකතන විශ්ලේෂණ වාර්තා ලබා ගත් බවත්, ඒ අනුව ඇමතුම් ලබාගෙන ඇති පුද්ගලයින් 60දෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ප්‍රකාශ සටහන් කරගත් බවත්, ජනවාරි 23වනදින ලබාගෙන ඇති ඇමතුම් පිළිබඳව තවදුරටත් විමර්ශන කරන බවත් පැමිණිල්ල  මෙහෙයවන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කරමින් කියා සිටියේය.

සිද්ධිය සම්බන්ධයෙන් තවත් සැකකරුවෙක් අත්අඩංගුවට ගැනීමට සිටින අතර  ඔහු මේ වනවිට ප්‍රදේශයෙන් පලාගොස් ඇති බවත් සැකකරුවන් ඉදිරිපත්කර ඇති ඇප අයදුම්පත්‍ර පිළිබඳ නියෝගය  මහාධිකරණය විසින් ලබාදීමට නියමිත බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුරටත් කියා සිටියේය.
 
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ උප පොලිස් පරීක්ෂක ඩී. එම්. අයගම සැරයන් අමිල(86099)යන මහතා විසින්  පැමිණිල්ල වෙනුවෙන් කරුණු දක්වන ලදී.