(ඩී. ජී. සුගතපාල)
රත්ගම පුද්ගලයින් දෙදෙනෙකු පැහැරගෙන ගොස් ඝාතනය කිරීම සම්බන්ධ නඩුවේ සැකකරුවන් 17 දෙනා තවදුරටත් 22 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරිමට ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා අද (8) නියෝග කළේය.
මෙසේ තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ දකුණු පළාත් විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ පොලිස් පරීක්ෂක කපිල නිශාන්ත සිල්වා, උප පොලිස් පරික්ෂක එච්.ජී.විරාජ් මධුසංක, කොස්තාපල් එච්.ජී. සංජය චානක, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ වලස්මුල්ල කණුමල්දෙණිය රක්ෂිතයේ බිට්ටු නිලධාරි කංකානම්ගේ මාෂල් තුෂාර නලින්ද, දකුණු පළාත් විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ඊ.ඒ.සමන් රෝහණ, උප පොලිස් පරික්ෂක විදානගේ තිලකරත්න, කොස්තාපල් උපුල් රංජිත් , උප පොලිස් පරික්ෂක ඩබ්ලිව් .ආර්.විමලසිරි, උප පොලිස් පරික්ෂක ජී.කේ.විමලරත්න, සැරයන් පී.එච්.චමින්ද, සැරයන් එස්.ජී.ප්‍රේමලාල්, කොස්තාපල් වයි.පි.විදානගම, කොස්තාපල් බී.ඒ.ආර්.අසංක, පොලිස් රියදුරු එච්.එම්.එස්.ජයරත්න, වලස්මුල්ල අඩවි වන නිලධාරි ආර්.එස්.සුවාරිස්, කොස්තාපල් අනිල් කුමාර, කොස්තාපල් රාගමුණිගේ විජිත කුමාර යන සැකකරුවන් 17 දෙනාය.
රත්ගම බූස්ස රත්නඋදාගම පදිංචිව සිටි ගොනාපිනුවලගේ අසේල මංජුල කුමාර සහ කොස්ම රසික් චින්තක නමැති දෙදෙනා ඉකුත් ජනවාරි 23 වැනිදා පැහැරගෙන ගොස් ඝාතනය කර පුළුස්සා දැමීම සම්බන්ධයෙන් මෙම සැකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.
මෙහිදි පැමිණිල්ල මෙහෙයවන අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කරමින් සිද්ධිය වනවිට ගාල්ල දිසා බාර දිසාබාර නියෝජ්‍ය පොලිස්පතිව සිටි චන්දන අලහකොන් විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ ආරම්භක ස්ථානාධිපති කමල් කිරිඇල්ල සහ රථවාහන අංශය බාරව සිටි සහකාර පොලිස් අසිත ද සිල්වා යන අයගේ ප්‍රකාශ ලබාගත් බවත් විමර්ශන අවසන් නොමැති නිසා සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසටත් ඉල්ලා සිටියේය.
සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නිතිඥවරුන් කියා සිටියේ මේ වනවවිට සැකකරුවන් කිහිපදෙනෙකු මහාධිකරණයට ඇප අයදුම්පත් ඉදිරිපත් කර ඇති බවයි. ඒ නිසා සැකකරුවන් වෙනුවෙන් වෙන් වෙන්ව විරෝධතා ගොනු කරන ලෙසද නීතිඥවරු ඉල්ලා සිටියහ.
එහිදී අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව කියා සිටියේ සැකකරුවන් වෙනුවෙන් මහාධිකරණයට වෙන් වෙන් වශයෙන් විරෝධතා ඉදිරිපත් කරන බවයි.

