(හර්ෂණ තුෂාර සිල්වා)
වර්තමානයේ තිබෙනවාට වඩා වැඩියෙන් මෙරට තුළ අධ්‍යාපන අවස්ථා බිහි කළ යුතු යැයි ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ උප කුලපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා අද (18) පැවැසීය.
ශ්‍රී ලංකාවට පෞද්ගලික විශ්ව විද්‍යාල අවශ්‍ය යැයි ද මහාචාර්යවරයා කීය.
ශ්‍රී ලංකා ගුවන් හමුදාව සංවිධානය කළ ‘කොළඹ ගුවන් සම්මන්ත්‍රණයේ’ ප්‍රධාන දේශනය කරමින් මහාචාර්ය සම්පත් අමරතුංග මහතා ඒ බව සඳහන් කළේය.
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි විය.
එහිදි අදහස් දැක්වූ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා මෙසේ ද කීය.
“ශ්‍රී ලංකාවේ අධ්‍යාපනයට ප්‍රවේශ වීමට ඇති අයිතිය තහවුරු කළ යුතුයි. ශ්‍රී ලංකාව තුළ පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ඇති කිරීමට ඉඩ දෙන්නේ නැහැ. එය රටට හොඳ දෙයක් නෙමෙයි. එය ජාත්‍යන්තර දර්ශකවල සටහන් වෙනවා. එය එක් ක්ෂේත්‍රයක ප්‍රශ්නයක් නෙමෙයි. එය ජාතික ප්‍රශ්නයක් බවට පත්ව තිබෙනවා. අපිට තවත් වෛද්‍ය පීඨ අවශ්‍යයි. අපිට තවත් ඉංජිනේරු පීඨ අවශ්‍යයි.
අපි ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨයක් ආරම්භ කළා. මා එයට ලොව පුරා සේවය කළ ආචාර්යවරුන් 20 දෙනෙක් සම්බන්ධ කරගත්තා. ඔවුන් සම්මුඛ සාකච්ඡාවලට ලංකාවට එන්නේ නැහැ. මා ඔවුන් සම්මුඛ සාකච්ඡාවට ලක් කළේ ‘ස්කයිප්’ තාක්ෂණය ඔස්සේ. ඉන් අනතුරුව මම ඔවුන්ගේ පත්වීම් ලිපි යැවුවා. ඉන් අනතුරුවයි ඔවුන් ලංකාවට පැමිණියේ. අපිට මිනිස්සු ඉන්නවා. එහෙත් අපි මානව සම්පත යොදාගන්න දන්නේ නැහැ. අපි හිතන විදිය වෙනස් කරන්න ඕනේ.
ද්විතීය අධ්‍යාපනය ගත්තාම අපි ප්‍රගතියක් පෙන්නුම් කර තිබෙනවා. උසස් අධ්‍යාපන ප්‍රවේශය ලබන්නේ සියයට 2ක් පමණයි. අධ්‍යාපනය ලබන පිරිස, උපාධි පාඨමාලාවලට සම්බන්ධ වන පිරිස ගැන අපි මීට වඩා අවධානය යොමු කරන්න ඕනේ.
සංඛ්‍යා දත්ත, කරුණු මේ සියල්ල තිබෙනවා. උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය ගත්තාම අපි ඉන්නේ හොඳ තැනක නෙමෙයි. මොකද අපි මිනිස්සුන්ට ඉගෙන ගන්න දෙන්නේ නැහැ. අපිට තවත් විශ්ව විද්‍යාල අවශ්‍යයි. අපිට පෞද්ගලික විශ්ව විද්‍යාල අවශ්‍යයි. අපට අන්තර්ජාලය ඔස්සේ පවත්වන පාඨමාලා අවශ්‍යයි. අප මිනිස්සුන්ට අධ්‍යාපනය ලබාදෙන්න ඕනේ.
අපේ සාක්ෂාරතාව හොඳයි. එහෙත් පරිගණක සාක්ෂරතාව ගත්තාම එය හොඳ නැහැ. අපේ අන්තර්ජාලය භාවිත කරන පිරිසගේ සංඛ්‍යාව බලන්න. අද වෙළෙඳපොළ එයයි. එයයි අපේ වෙළෙඳපොළ. ලෝකයේ අන්තර්ජාලය භාවිත පිරිසකගෙන් සියයට 50කට ආසන්න පිරිසක් ඉන්නේ ආසියාවේ.
ඒ නිසා අධ්‍යාපන ක්ෂේත්‍රය ගැන විශේෂ අවධානයක් යොමු කරන්න ඕනේ. අධ්‍යාපනයට කරන වියදම දෙස බැලුවාම අපි ඉන්නේ ඉතාම පහළ තැනක. අනෙක් රටවල් සැලකිල්ලට ගත්තාම අප සැලකිල්ලටවත් ගෙන නැහැ. අපි අධ්‍යාපනයට කරන වියදම ඒ තරම් පහළ අගයක තියෙන්නේ.
නවෝත්පාදනය ගත්තාම අපේ රටේ නවෝත්පාදන නොවෙන තරම්. බංග්ලාදේශය, ඉන්දියාව, පාකිස්තානය නවෝත්පාදන අතරින් ඉදිරියෙන් ඉන්නවා. අපේ රට වසරකට පේටන්ට් බලපත්‍ර ගන්නේ 200යි. එය දහස ඉක්ම විය යුතුයි. ඒ නිසා අපි මීට වඩා වැඩි අවධානයක් කෙරෙහි අවධානය යොමු කළ යුතුයි.
අපේ උපතේදී ආයු අපේක්ෂව අනෙක් රටවල් හා සැසඳීමේදී ඉහළ ගොස් තිබෙනවා. අපි සංවර්ධිත රටවල මට්ටමට පැමිණ තිබෙනවා. අපි එක්සත් රාජධානිය සහ ඕස්ට්‍රේලියාව මෙන්ම අනෙක් රටවල මට්ටමට පැමිණ තිබෙනවා.
ශ්‍රී ලංකාව යනු සෞභාග්‍යය තිබෙන සෞභාග්‍යය උදා කරගත හැකි රටක්. අපට ප්‍රමාණවත් මිනිස්සු ඉන්නවා. ප්‍රමාණවත් සම්පත් තිබෙනවා. අපි එය තේරුම් ගත යුතුයි. වරද තිබෙන්නේ අපි හිතන විදියේ. අපට ප්‍රමාණවත් මාර්ග තිබෙනවා. එහෙත් අපි නිසි පරිදි ධාවනය කරන්නේ නැහැ. අපට ප්‍රමාණවත් පාසල් සංඛ්‍යාවක් තිබෙනවා.
එහෙත් මිනිස්සු ඉගෙන ගන්නේ නැහැ. ඇතැම් අය පස්වරුවේ ටියුෂන් යනවා. අපට සම්පත් තිබුණත් ඒවායෙන් නිසි ප්‍රයෝජන ගන්නේ නැහැ. විශ්ව විද්‍යාල සිසුන් අනෙක් විශ්ව විද්‍යාල වසන්නැයි ඉල්ලනවා. අනවශ්‍ය දේ ඉල්ලනවා.
අපේ දර්ශක හොඳයි. අපි නරකම නැහැ. අපි ඇතැම් ක්ෂේත්‍රවලින් ප්‍රගතියක් පෙන්නුම් කර තිබෙනවා.
අප ආර්ථික ප්‍රශ්නවලට මුහුණ දී සිටිනවා. කෙසේ නමුත් අපට ඉදිරි ගමනක් තිබෙනවා. අප අපේ හැකියාවන් අපට පුළුවන් දේ තේරුම් ගන්න ඕනේ. අපි අපේ දුර්වලතා වගේම ශක්තීන් හඳුනා ගන්න ඕනේ. අපි හිතන විදිය වෙනස් කරන්න ඕනේ.
අපි ඉන්නේ චක්‍රයක. උස් පහත් වීම් සිදුවෙනවා. අතීතයේ ලෝකයේ ආර්ථිකය පාලනය කළේ ඉන්දියාව සහ චීනයයි. දැන නැවත එය සිදුවෙමින් තිබෙනවා.
අපි නවෝත්පාදන කළ යුතුයි. අපි පර්යේෂණ හා සංවර්ධන කළ යුතුයි. අද ලෝකයේ නවෝත්පාදනයට, පර්යේෂණ හා සංවර්ධනයට ඉතා වැදගත් තැනක් හිමි ව තිබෙනවා. අපි මේ සම්බන්ධයෙන් තවදුරටත් අවධානය යොමු කළ යුතුයි”.
ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති, ගුවන් හමුදාවේ අධ්‍යක්ෂ (පුහුණු) එයාර් වයිස් මාර්ෂල් ඩබ්ලිව්.එස්.කේ.එස්.පී. වීරසිංහ යන මහත්වරු ද අදහස් දැක්වූහ.
ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතා මෙහිදි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ උප කුලපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා සමරු තිළිණ ද පිළිගැන්වීය.
ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන, තිරසර සංවර්ධන, වනජීවි සහ ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍ය ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා, ආරක්ෂක ලේකම් කපිල වෛද්‍යරත්න, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී රවීන්ද්‍ර විජේගුණරත්න, නාවුක හමුදාපති රියාර් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ, පොලිස්පති පූජිත ජයසුන්දර යන මහත්වරුන් ආරක්ෂක අමාත්‍යාංශයේ නිලධාරීන්, දෙස් විදෙස් ආරක්ෂක උපදේශකයන්, ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදාවේ නිලධාරීන්, විද්වතුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.
ඡායාරූප - රොමේෂ් ධනුෂ්ක සිල්වා