(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
මිශ්‍ර සමානුපාතික මැතිවරණ ක්‍රමයක් රටට යෝග්‍ය වන බව මැතිවරණ කොමිෂන් සභාවේ මතය යැයි එහි සභාපති නිමල් පුංචිහේවා මහතා මැතිවරණ නීති ප්‍රතිසංස්කරණය සඳහා පත් කෙරුණු පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේදී ඊයේ (30) පැවැසීය.
මේ අතර මැතිවරණ විනිශ්චයාධිකරණයක් අලුතින් පිහිටුවිය යුතු බවට මැතිවරණ කොමිෂන් සභාව පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාවට යෝජනා කර ඇත.
දේශපාලන පක්ෂ ලියාපදිංචිය සඳහා නව වැඩපිළිවෙළක් සැකසිය යුතු බවද මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා එම විශේෂ කාරක සභාවේදී කරුණු දක්වමින් පැවැසීය.
සමහර දේශපාලන පක්ෂ යම් යම් දිස්ත්‍රික්කවලට පමණක් සීමාවී බවත් පක්ෂ ලියාපදිංචි කිරීමේ නිර්ණායකවලද ගැටලු මතුව ඇති බවත් හෙතෙම එහිදී කීවේය.
දේශපාලන පක්ෂ ජාතික වශයෙන් පිළිගත්, ලියාපදිංචි සහ ප්‍රාදේශීය පක්ෂ ලෙස වර්ගීකරණය කර ඒවා ලියාපදිංචි කිරීමේ ක්‍රමවේදයක් ඇතිකළ යුතු බවටද නිමල් පුංචිහේවා මහතා කාරක සභාවට යෝජනා කළේය.
පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව එහි සභාපති සභානායක දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී පෙරේදා (29)රැස්විය.

