රට පුරා සංචරණසීමා, ඕනෑම මොහොතක පැනවිය හැකියි


(ඩයනා උදයංගනී)

රට තුළ කොවිඩ් වසංගතය පැතිර යන ආකාරය විශ්ලේෂණය කරමින් සිටින බවත් අවශ්‍යතාවය අනුව ඕනෑම මොහොතක රට පුරා සංචරණ සීමා පැනවීමට ඉඩ තිබෙන බවත් කැබිනට් ප්‍රකාශක, ජනමාධ්‍ය අමාත්‍ය, කෙහෙලිය රඹුක්වැල්ල මහතා පැවසීය.

රටපුරා සංචරණ සීමා පැනවීමේ අවශ්‍යතාවක් තිබේද යන්න සාකච්ඡා වන්නේ කොවිඩ් කාර්ය සාධක බලකාය සහ සෞඛ්‍ය අංශ සමඟ බව කී ඇමතිවරයා දැනට පවතින තත්ත්වය අනුව රට පුරා සංචරණ සීමා පැනවීමේ අවශ්‍යතාවයක් නැතැයි ද සඳහන් කළේය.

තත්ත්වය විශ්ලේෂණය කරමින් අවශ්‍ය දේ කළ යුතුය යන මතයේ සිටිමින් රජය හා අදාළ අංශ කටයුතු කරමින් සිටින බවත්, ඒ අනුව කොවිඩ් රෝගීන් වැඩි වශයෙන් හමුවන ප්‍රදේශ හුදෙකලා කිරීම මේ වන විට සිදුකර ඇති බවත් ඇමති රඹුක්වැල්ල මහතා කීවේය.

අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද (4) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමිනි.

ඉන්දියාවේ දරුණු තත්ත්වයක් නිර්මාණය වී ඇත්තේ ජනතාව වගකීමකින් තොරව කටයුතු කළ නිසා යැයි කී ඇමතිවරයා මෙරට ජනතාව ඊට වඩා සංවේදීව කටයුතු කරන බව සඳහන් කළේය.

කොරෝනා තත්වය දිනපතා වෙනස් වන නිසා රජය ගත යුතු ක්‍රියාමාර්ග අදාළ අවස්ථාවලදී ගන්නා බව කී ඇමතිවරයා විටින් විට ඇතිවන ප්‍රශ්නවලට තීන්දු තීරණ ගැනීමට කාලයක් ගතවන බව ද කීවේය.