රජය ප්‍රතිත්‍රස්ත පනත ඉවත්කරගනී


(අජන්ත කුමාර අගලකඩ)

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද ප්‍රතිත්‍රස්ත පනත ඉවත්කර ගැනීමට රජය තීරණය කර ඇත.

ඒ සඳහා විදේශ සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින් අද (02) කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන ලද සන්දේශයට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී තිබේ.

දැනට ක්‍රියාත්මක ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසිකර ත්‍රස්තවාදය මැඩ පැවැත්වීමේ නව නීති පැනවීමේ අරමුණින් මෙම ප්‍රතිත්‍රස්ත පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද්දේ එවකට විදේශ අමාත්‍යවරයාව සිටි මංගල සමරවීර මහතා විසිනි.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසිකළ යුතුබව ජිනිවාහි සම්මත වූ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් ‍යෝජනාවලියේදී සඳහන් වී තිබිණ.

මංගල සමරවීර මහතා විසින් ඉදිරිපත් කරන ලද ප්‍රතිත්‍රස්ත පනතට එවකට විපක්ෂයේ සිටි ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් මෙන්ම ආගමික හා සිවිල් සංවිධානද විරෝධය පළකර තිබිණි.

එම තත්ත්වය සැලකිල්ලට ගනිමින් මෙම ප්‍රතිත්‍රස්ත පනත පාර්ලිමේන්තුවෙන් ඉවත් කර ගැනීමට කැබිනට් මණ්ඩලය අද (02) තීරණය කළේය.