රංජන් අත්අඩංගුවට ගැනීමට යාමේ දී පොලිසියේ හැසිරීම ගැන අප්‍රසාදය


(නාලක සංජීව දහනායක)

පාර්ලිමේන්තු මන්ත‍්‍රී රංජන් රාමනායක මහතා අත්අඩංගුවට ගැනීමේදී පොලීසියේ හැසිරීම සම්බන්ධයෙන් අප‍්‍රසාදය පළකරන බව බලශක්ති රාජ්‍ය අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා අද (6) පැවසීය.

සාමාන්‍යයෙන් අධිකරණ වරෙන්තුවක් මත යම් පුද්ගලයකු අත්අඩංගුවට ගැනීමට යෑමේදී පොලිස් නිලධාරීන් මෙලෙස හැසිරෙන්නේ නැතැයි ද රාජ්‍ය අමාත්‍යවරයා කීය.

පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ට හා සාමාන්‍ය මිනිසුන්ට වෙන් වෙන් වශයෙන් නීතිය ක‍්‍රියාත්මක වීම නොවී සැමට එකසේ නීතිය ක‍්‍රියාත්මක විය යුතු යැයි ද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

යම් කිසිවකු අත්අඩංගුවට ගැනීමට යෑමේදී එම තැනැත්තා පොලිස් නිළධාරීන්ට බාධාකාරී වන ආකාරයට හැසිරෙනවා නම් රාජකාරීයට බාධාකිරීමේ චෝදනාව යටතේ ඔහු අත්අඩංගුවට ගතයුතු බව කී රාජ්‍ය අමාත්‍යවරයා එසේ නොමැතිව පොලිස් නිළධාරීන් සැකකරුවා සමග බයිස්කෝප් රඟ නොදැක්විය යුතු යැයිද පැවැසීය.

බත්තරමුල්ල, නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප‍්‍රදාන කාර්යාලයේදී අද (6) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සදහන් කළේය.