යෝෂිතට - මිත්තනියට එරෙහි නඩුවේ විස්තර නීතීපතිට


(නිමන්ති රණසිංහ)
 
රුපියල් මිලියන 36ක වටිනාකමකින් යුතු රත්මලාන ප‍්‍රදේශයේ පිහිටි ඉඩමක් මිලදී ගැනීම සම්බන්ධයෙන් වූ සිද්ධියට අදාළව හිටපු නාවික හමුදා ලූතිනන් යෝෂිත රාජපක්ෂ මහතාට සහ ඔහුගේ මිත්තනිය වූ ඬේසි ෆොරස්ට් මහත්මියට අයත් මිලේනියම් සිටි හි පෞද්ගලික බැංකුවක තිබූ බද්ධ ගිණුමක් සම්බන්ධයෙන් විස්තර නීතිපතිවරයා වෙත යොමු කර ඇතැයි මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය අද (30) ගල්කිස්ස මහේස්ත‍්‍රාත් මොහොමඞ් මිහාල් මහතා ඉදිරියේ කරුණු වාර්තා කර ඇත. 
 
මෙම සිද්ධියට අදාළව වැඩිදුර මහේස්ත‍්‍රාත් පරීක්ෂණය අද (30) අධිකරණය හමුවේ යළි කැදවූ අවස්ථාවේදී ඇප මත සිටි යෝෂිත රාජපක්ෂ මහතා සහ ඔහුගේ මිත්තණීය වූ ඬේසි ෆොරස්ට් මහත්මිය අධිකරණය හමුවේ පෙනී සිටි අතර, පැමිණීල්ල වෙනුවෙන් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශයේ විශේෂ විමර්ශන ඒකකය වෙනුවෙන් පොලිස් සැරයන් අමිත පෙරේරා මහතා වැඩිදුර වාර්තාවක් මගින් අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය.
 
සිද්ධියට අදාළ වැඩිදුර මහෙස්ත‍්‍රාත් පරීක්ෂණය ලබන මාර්තු මස 29 වැනිදා යළි කැදවීමට නියමිතව ඇත.
 
යෝෂිත රාජපක්ෂ මහතාගේ මිත්තණීය වූ 173/2,  මිහිදු මාවත ගල්කිස්ස ලිපිනයෙහි පදිංචි ඬේසි ෆොරස්ට් මහත්මියගේ නමින් රුපියල් මිලියන 36කට මිලදී ගෙන ඇති අංක 04,  සිරිමල් උයන,  කෙකටිය පෙදෙස,  රත්මලාන ලිපිනැති පර්චස් 31,/ 5ක නිවස සහිත ඉඩම සම්බන්ධයෙන් මෙම පරීක්ෂනය ආරම්භ කර ඇතැයි මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය අධිකරණයට කරුණු ඉදිරිපත් කර තිබිණ.
 
යෝෂිත රාජපක්ෂ මහතගේ මිත්තණීය වූ ඬේසි ෆොරස්ට් මහත්මියගේ නමින් ගල්කිස්ස ප‍්‍රදේශයේ දේපල මිලදී ගැනීම සම්බන්ධයෙන් මුදල් විශුද්ධීකරණය වැලැක්වීමේ පනත යටතේ මෙම විමර්ශණය සිදුකරමින් පවතින බවත්, එකී විමර්ශනයේදී ඬේසි ෆොරස්ට් යන අය සතු ඉඩම හා දේපල පිලිබදව තවදුරටත් පරීක්ෂා කිරීමේදී අදාළ රත්මලානේ පිහිටි ඉඩම සම්බන්ධයෙන් කරුණු අනාරවණය වී ඇති බවත් මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය වැඩිදුරටත් අධිකරණයට කරුණු වාර්තා කර තිබිණ.