(සුමතිපාල දීයගහගේ )
යුද හමුදා මේජර්වරයෙකුගේ නිවසට ඇතුලුවී එම මේජර්වරයාගේ දරුවන් දෙදෙනා බැද දමා එහි තිබු රුපියල් ලක්ෂ දෙකක් වටිනා රන් අබරණ කොල්ලාකෑම සම්බන්ධයෙන් එම මේජර්වරයාගේ හිටපු රියදුරෙකුවන යුද හමුදා සෙබළෙකු අත්අඩංගුවට ගත් බව ගාල්ල පොලිසිය පවසයි.
පසුගිය 4 වැනිදා පනාගොඩ යුදහමුදා කදවුරේ සේවය කරන මේජර්වරයෙකුගේ බූස්ස රුපීවල ප්‍රදේශයේ පිහිටි නිවසට ගොස් යුද හමුදාවෙන් එවා ඇති පාර්සලයක් දීමට යයි කියා නිවසට ඇතුළු වු ඔහු මෙලෙස කොල්ල කෑ බවට තොරතුරු අනාවරණය වීමෙන් පසු ඊයේ (30) අත්අඩංගුවට ගෙන තිබිණි.
කොල්ල කෑම සිදුවූ දින මේජර්වරයාගේ ගුරුවරියක් වූ බිරිද රැකියාවට ගිය පසු මේජර්වරයාගේ දොළොස් හැවිරිදි සහ හත් හැවිරිදි දරුවන් දෙදෙනා පමණක් නිවසේ සිටින විට කොල්ලාකරු නිවසට ඇතුලුවී මංකොල්ලය සිදුකර තිබුණි.
එම කොල්ලාකෑම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකාර සෙබළා මේජර්වරයාගේ හිටපු රියදුරෙකු බවද පොලිසිය පැවසිය.
සැකකාර සෙබළා අද (31) අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතව තිබේ.