යාපනය තල් - පොල් සමුපකාර සමිතියේ දෙදෙනා 6 වැනි දිනටත් උපවාසයේ


(ලක්ෂ්මී ජයකොඩි)
 
ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් හයවන දිනටත් මාරාන්තික උපවාසයේ නිරතව සිටින යාපනය තල් හා පොල් සම්පත් සංවර්ධන සමුපකාර සමීතියේ සාමාජිකයින් දෙදෙනාගේ ජීවිත වලට යම් හානියක් සිදුවුවහොත් එහි වගකීම උතුරු පළාත් ආණ්ඩුකාරවරිය බාරගත යුතු යැයි දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. ශ්‍රීධරන් මහතා චෝදනා කරයි.


තමන් මේ පිළිබඳව දැනටමත් උතුරු පළාත් ආණ්ඩුකාරවරය ඇතුළු වගකිව යුතු නිළධාරීන් වෙත සෘජුවම දැනුම් දී සිදු කර ඇති බවත් එහෙත් මාරාන්තික උපවාසයේ නිතර සාමාජිකයින් දෙදෙනාගේ සාධාරණ ඉල්ලීම් සම්බන්ධයෙන් සළකා බලා සුදුසු ක්‍රියාමාර්ග ගැනීමට ඔවුන් තවමත් කටයුතු කර නැති බවත් ඒ මහතා චෝදනා කළේය.


මේවිනවිට හයවන දිනටත් මාරාන්තික උපවාසයේ නිරතව සිටින සාමාජිකයින් දෙදෙනාගෙන් එක් අයෙකුට කතා කිරීමට පවා නොහැකි තරමට අසාධ්‍ය බවද එබැවින් වගකිව යුතු බළධාරීන් මෙම නිළධාරීන්ගේ ජීවිත සමඟ සෙල්ලම් නොකළ යුතු යැයිද ශ්‍රීධරන් මන්ත්‍රීවරයා වැඩිදුරටත්  ඉල්ලා සිටියේය.


කිළිනොච්චිය තල් සම්පත් සංවර්ධන සමුපාකාර සමිතියේ හිටපු පරිපාලන නිළධාරි මණ්ඩලය හදිසියේම ඉවත් කර ඒ වෙනුවට නව නිළධාරීන් පස් දෙනෙකු පත් කිරීමට විරෝධය දක්වමින් මෙම සාමාජිකයින් දෙදෙනා පසුගියදා (12) වැනිදා සිට මාරාන්තික උපවාසයක් ආරම්භ කර ඇත.


උපවාසයේ නිරතවුවන් ඉල්ලා සිටින්නේ නව නිළධාරි මණ්ඩලය ඉවත් කොට හිටපු නිළධාරි මණ්ඩලය වෙත නැවත පරිපාලනය බාරදී නිලවරණයක් පවත්වා අදාළ පත්වීම් සිදු කරන ලෙසයි.