
(එන් .ආරච්චි)
යටියන්තොට ප්‍රාදේශීය සභාවේ 2026 වර්ෂයේ සඳහා පැවැති අයවැය කෙටුම්පත ඡන්ද හතරකින් අද (20) පරාජයට පත් විය .
අයවැය යෝජනාවට පක්ෂව සභාපතිවරයා ඇතුළු ජාතික ජන බලවේගයේමන්ත්‍රීවරු 12 සහ ස්වාධීන මන්ත්‍රී සූරිය කුමාර් සුමිත්‍රන් පක්ෂව ඡන්දය ලබා දුන් අතර විපක්ෂව සමගි ජන බලවේගය ,ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණ, එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පොදු ජන එක්සත් පෙරමුණ සහ සර්ව ජන බලය පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරු ඡන්දය ප්‍රකාශ කළහ .
අයවැය යෝජනාව සභාපති(ජාතික ජන බලවේගය ) නීතිඥ තරිඳු දෙවන ගුරු මහතා විසින් මහා සභාවට ගෙනා අතර සමග ජන බලවේගයේ ලසිත දෙයියාගල ,ලාල් නිශාන්ත සර්ව ජන බලය පක්ෂයේ ශාන්ත මල්ලව යන මන්ත්‍රීවරු අයවැය කෙටුම්පත සම්බන්ධයෙන් ඡන්දයක් විමසීමට අවශ්‍ය බව ප්‍රකාශ කළහ .
ඒ අනුව පැවති ඡන්ද විමසීමේදී 2026 අයවැය කෙටුම්පතට පක්ෂව ඡන්ද දහතුනක් හා විපක්ෂව ඡන්ද දාහතක් ලැබුණි .
සභාපති තරිඳු දෙවන ගුරු මහතා විසින් අයවැය කෙටුම්පත සඳහා දෙවන වරත් මහා සභාවට ඉදිරිපත් කරන බව ප්‍රකාශ කරමින් මහා සභාව ඉදිරි දිනකට කල් තබන ලදී .යටියන්තොට ප්‍රාදේශීය සභාවේ 2026 වර්ෂය සඳහා අපේක්ෂිත ආදායම 143150541.09 වන අතර අපේක්ෂිත වියදම 143150541.08 කි.

