
(අංජුල මහික වීරරත්න ඉන්දියාවේ නවදිල්ලි සිට)
ඉන්දියාවේ අග්‍රාමාත්‍ය ධුරයට පත් වූ නරේන්ද්‍ර මෝදි මහතා ඉන්දීය ජනාධිපතිනි ද්‍රෞපදී මුර්මු මහත්මිය ඉදිරියේ රාශ්ට්‍රපති භවන්හි දී දිවුරුම් දීමෙන් පසු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ රජ්‍ය නායකයින් ඔහු වෙත උණුසුම් සුබපැතුම් පළ කළහ.
දෙරට අතර බැදීම් තවදුරටත් ශක්තිමත් කර ගනිමින් ඉදිරියට යාමට නායක දෙපළ මෙහිදී එකඟතාවය පළකර තිබේ.
ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ දිවුරුම් දීමේ උත්සවය ඉන්දීය ජනාධිපති ද්‍රෞපදී මුර්මු මහත්මිය ඉදිරියේ නවදිල්ලි රාෂ්ට්‍රපති භවන්හිදී අද පස්වරුවේ ආරම්භ වූ අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ අසල්වැසි රාජ්‍ය නායකයෝද විශේෂ ආරාධිතයෝ ද ඊට සහභාගී වූහ.
ආරාධිත අමුත්තන් 9000 ට ආසන්න පිරිසක් වෙනුවෙන් රාශ්ට්‍රපති භවන් ඉදිපස භූමියේ අසුන් පනවා තිබුණි.
ආගමික නායකයන් නළු නිළියන්, ව්‍යාපාරිකයන්, විද්වතුන් ඇතුලු විශාල පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.
ඇමති මණ්ඩලය ජනාධිපතිනිය ඉදිරියේ දිවුරුම් දීමෙන් පසු ඉන්දීය අග්‍රාමාත්‍යවරයා තුන් වන වරටත් අග්‍රාමාත්‍ය මාත්‍ය ධූරයේ දිවුරුම් දුන්නේය.
ඉන්දියාවට පැමිණ සිටින රාජ්‍ය නායකයන් නව අග්‍රාමාත්‍යවරයාට සුබ පැතීමෙන් පසු විශේෂ රාත්‍රී භෝජන සංග්‍රහයක් ද පැවැත්විණි.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සම්ප්‍රාප්තියට ඉන්දීය මාධ්‍ය මගින් සුවිශේෂී ප්‍රචාරයක් ලබා දී තිබූ අතර නවදිල්ලි අගනුවර ප්‍රධාන වට රවුම් ආශ්‍රිතව ශ්‍රී ලංකා ජනාධිපතිවරයා සහ කලාපයේ සෙසු නායකයන්ගේ ද මෝදි අගමැතිවරයාගේ ද රුව සහිත පුවරු ප්‍රදර්ශනය කර තිබෙනු දැකගත හැකි විය.
බංග්ලාදේශ අගමැතිනී ෂෙයික් හසීනා, නේපාල අගමැති පුෂ්ප කමල් දහාල්, මාලදිවයින් ජනාධිපති මොහොමඩ් මුයිසුද , සීෂෙල්ස් උප ජනාධිපති, මොරිෂියස් අගමැති මෙන්ම භූතාන අගමැතිවරයා ප්‍රමුඛ කලාපයේ රාජ්‍ය නායකයෝ එක්ව සිටියහ.

