මේ රට කලක් හොර ගුබ්බෑයමක් වූ බව අමතකද?


(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

ලංකාව කාලයක් තිස්සේ වංචාකරුවන්ගේ හොරුන්ගේ තිප්පොලක්, ගුම්බෑයමක් බවට පත්ව තිබු බව අමතක කළ යුතු නැතැයි ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

සමාගම් වල ඉන්න අධ්‍යක්ෂවරුන් මෙන්ම කොටස් හිමියන් සහ අනෙකුත් පාර්ශවයන් සම්බන්ධයෙන් තොරතුරු එකතු කොට ඒවා නිසි පිළිවෙලකට ක්‍රියාවලියකට ගේන්න අප මේ පනත ඉදිරිපත් කර තිබෙනවා.ලංකාවේ ව්‍යාපාර ඇරැඹීමේ දී සමාගම් ලෙස ලියාපදිංචි වීම ඉතා හොඳ දෙයක්.ඒ ආයතන ක්‍රියාවලියට ඇතුළත් වන ආයෝජකයන් අධෛර්යමත් කිරීමක් මෙයින් වන්නේ නැහැ. නිවැරදි ව්‍යාපාරිකයන් කවුද? ඔවුන්ගේ තොරතුරු මොනවාද? කියා තොරතුරු  එකතු කර ගන්න මේ සංශෝධනය ගෙනවිත් තිබෙනවා. අපේ රට කාලයක් තිස්සේ වංචාකරුවන්ගේ හොරුන්ගේ තිප්පොලක්, ගුම්බෑයමක් බවට පත්ව තිබුණා.ඒ වගේම ටෙන්ඩර් මගඩි වලින් මුදල් උපයන අය හිටියා.ඒ නිසා අපේ ආයතන පද්ධතිය යම් පරිහානියකට දූෂණයකට ලක්ව තිබෙනවා.රට යම් නීත්‍යානුකූල ක්‍රියාවලියකට නතු කර ගැනීම අපේ අරමුණයි.මෙවැනි සමාගම් වල පිරිසිදු බව ආරක්ෂා කිරීමත් ක්ලීන් ශ්‍රී ලංකා ව්‍යාපෘතියේ කොටසක් ලෙස හඳුන්වා දිය හැකියි.යමක් ක්ලීන් කරනකොට කවුරු හරි කලබල වෙනවා කියන්නෙම ඒකෙ පොඩි කෑල්ලක් තියෙනවා යනුවෙන්ද අමාත්‍යවරයා කීය.