මුදල් අවභාවිතාවක් ගැන කෝපා කමිටුවේ අප්‍රසාදය


(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයේ අංශයක් ස්ථාපනය කිරීම සඳහා කොල්ලුපිටිය ප්‍රදේශයේ ගොඩනැගිල්ලක් කුලියට ගැනීමේදී සිදුවී ඇතැයි කියන මුදල් අවභාවිතාවක් සම්බන්ධයෙන් රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව (කෝපා කමිටුව) දැඩි අප්‍රසාදය පළ කර ඇත.

මේ ගොඩනැගිල්ල සඳහා කුලිය සහ අනෙකුත් වියදම් වශයෙන් රුපියල් ලක්ෂ පනහකට 50 කට වැඩි මුදලක් වැය කර ඇතැයි නිරීක්ෂණය වූ බව කෝපා කමිටුව පවසයි.

බදු සේවා අංශය පුළුල් කිරීමේදී ලිපි ලේඛන ගබඩා කිරීම සඳහා මෙම ගොඩනැගිල්ල කුලියට ගත් නමුත් පසුව සේවකයන්ගෙන් එල්ල එල්ලවූ විරෝධය හේතුවෙන් එම අංශය එකී ගොඩනැගිලිල්ල වෙත ගෙන යෑමට නොහැකි වූ බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ප්‍රධානීන් දැනුම් දී ඇතැයි කෝපා කමිටුවේ සභාපති මහාචාර්ය තිස්ස විතාරණ මහතා පැවසීය.

මේ තොරතුරු සඳහන් වන්නේ කෝපා කමිටුවේ සභාපති මහාචාර්ය තිස්ස විතාරණ මහතා පාර්ලිමේන්තුවට පසුගියදා ඉදිරිපත් කළ එහි පළමුවැනි වාර්තාවේය.

මේ අතර දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය නවීකරණය කිරීම සහ මහල් නවයකින් යුත් රථ ගාලක් ඉදි කිරීම රුපියල් කෝටි එකසිය හතළිස් තුනකට වැඩි ගිවිසුම් මුදලකට රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවට පවරා ගිවිසුම් මුදලින් රුපියල් කෝටි 139 කට වැඩි මුදලක් ගෙවා තිබුණද නියම වූ පරිදි එම කාර්යය ඉටු නොකිරීම පිළිබඳවද කෝපා කමිටුවේ අවධානයට යොමු විය.

කාර්යයක් නිම නොකිරීම සම්බන්ධයෙන් රාජ්‍ය ආයතනයකට විරුද්ධව නඩු පැවරිය නොහැකි බව මේ සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමේදී දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ප්‍රධානියකු පැවසූ බව එම කෝපා කමිටු වාර්තාවේ සඳහන් වේ.

දෙපාර්තමේන්තුවේ ආදායම් පරිපාලන කළමනාකරණ පද්ධතිය යාවත්කාලීන කිරීම සඳහා රුපියල් කෝටි 400 කට වැඩි මුදලක් වැය කිරීම සම්බන්ධයෙන් ද කාරක සභාවේ අවධානය යොමු විය.