
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
අල්ලස් හෝ දූෂණ චෝදනාව විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් රංග දිසානායක මහතා ජනතා විමුක්ති පෙරමුණේ නීති අංශයේ ලේකම්වරයා ලෙස වැඩ කර ඇති අයෙකු බවට එහි හිටපු නායකයකු වන නන්දන ගුණතිලක රූපවාහිනී සංවාදයකදී ප්‍රකාශ කළ බව සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා ප්‍රකාශ කිරීමෙන් පාර්ලිමේන්තුවේදී අද (26) උණුසුම් සංවාදයක් ඇතිවිය.
ඔහු මෙසේ පැවසුවේ කෝප් කමිටුවේ වාර්තාව පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ විවාදයේදීය.
අල්ලස් කොමිසම විපක්ෂයේ මන්ත්‍රීවරුන් පසුපස පමණක් හඹා යමින් ආණ්ඩුවේ ඇමැතිවරුන්ට එරෙහිව ඇති චෝදනා විභාග නොකරන්නේ ඒ හිතවත්කම නිසා දැයි මන්ත්‍රීවරයා ප්‍රශ්න කළේය.
මුජිබර් රහුමාන් මහතා මෙසේද පැවසීය
මේක බරපතළ චෝදනාවක්. අපි මේ ගැන අද උදේත් ඇහුවා. උත්තරයක් දුන්නේ නැහැ. මේ වගේ ස්වාධීන කොමිෂන් සභා ඇති කළේ ස්වාධීන ලෙස වැඩ කරන්නයි. අපිට මෙතන ගැටළුවක් තියෙනවා. රංග දිසානායක විපක්ෂයේ ඉන්න මන්ත්‍රීවරුන් ඔක්කොගෙම ගනුදෙනු හොයනවා. හැබැයි ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ගේ ඒවා හොයන්නේ නැහැ. එහෙම කරන්නෙ නැත්තේ මෙයා ජේවීපි කාරයෙක් නිසාද. අපිට එහෙම හිතන්න පුළුවන්.
ආණ්ඩුවට එරෙහිව පැමිණිලි ගොඩක් තියෙනවා. ඒවා විමර්ශන කරන්නේ නැහැ. මේ වගේ චෝදනා කලින් ආණ්ඩු වලටත් තිබ්බා. ඒ ආණ්ඩු එපා කියලා මේ ආණ්ඩුව පත් කළේ වැරදි නිවැරදි කරගන්නනේ. ඒ සඳහා ඔබලට විශාල ජනවරමක් දුන්නා. ඒ ජනවරම අවභාවිතා කරන්න එපා. තමුන්නාන්සේලාගේ කට්ටිය ගැන හොයන්නේ නැහැ. අනිත් අය ගැන හොයනවා. නන්දන ගුණතිලක කියපු චෝදනාව බරපතළයි.
විදුලි බල ඇමතිතුමා පොහොර සංස්ථාවේ ඉද්දි සිදුවුණු දූෂණයක් ගැන චෝදනා එල්ල වුණා. අල්ලස් කොමිසම ඔහු අත්අඩංගුවට ගන්න යනවා කියලා මාධ්‍ය වාර්තා පවා පළ වුණා. නමුත් පරීක්ෂණ තවම නැහැ. ඒ එයා තමන්ගේ මිනිහා නිසාද. ජනාධිපතිතුමා එතුමා කැඳවලා මේ නඩුව දාන්න එපා කිව්වා කියලා කතාවකුත් යනවා. නඩුව නොවැටෙන්නේ ඒ නිසාද දන්නෑ. මේ විදිහට යන්න බැහැ. පසුගිය ආණ්ඩු කළේත් මේ දේමයි. තමුන්ගෙ මිනිහා ආරක්ෂා කළා. ඔබලා ඇවිල්ලා කරන්නේත් ඒකම නම් වැඩක් නැහැ. ඒ පරණ සිස්ටම් එකම තමයි යන්නේ .
ජනාධිපති කාර්යාලයේ ඉන්න අය ගැන තොරතුරු පනත යටතේ ඉල්ලුවම දෙන්නේ නැහැ. අනිත් ජනාධිපතිවරුන් එ් විස්තර දීලා තියෙනවා. මේ ආණ්ඩුවට එරෙහිවත් නැගිටීමක් එන්න පුළුවන්. මම ඒ අනතුරු ඇඟවීම කරනවා.
සභානායක අමාත්‍ය බිමල් රත්නායක මහතා
මෙතුමලට දැන් ගීතයක් කියන්න තමයි මට හිතෙන්නේ. ඇයත් නොදන්නිය ඇය යන මානය ඔහුත් නොදන්නිය ඔහු යන මානය. සජබ වැදගත් පක්ෂයක් නේ ඉස්සර. ඒ සින්දුව තමයි ඔයාලගේ තේමා ගීතය කරන්න ඕන.

