
(සුජිත් හේවාජුලිගේ )
පාර්ලිමේන්තුවේ තොරතුරු පද්ධති සහ කළමනාකරණ දෙපාර්තමේන්තුවේ ඇතැම් නිලධාරිනියන්ට සිදු වී ඇතැයි පැවසෙන හිංසන ක්‍රියා සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වීමට පත්කෙරුණු හිටපු මහාධිකරණ විනිසුරු සුජාතා අලහප්පෙරුම මහත්මියගේ ප්‍රධානත්වයෙන් යුතු බාහිර විමර්ශන කමිටුව පාර්ලිමේන්තුවේ පරිපාලන අධ්‍යක්ෂිකා ඉන්දිරා දිසානායක මහත්මියගෙන්ද ප්‍රකාශ සටහන් කරගෙන ඇත.
මේ සිද්ධිය සම්බන්ධයෙන් ලැබුණු පැමිණිලි සහ මුලින් කෙරුණු විමර්ශන ඇතුළු කටයුතු සම්බන්ධයෙන් ඇයගෙන් මෙසේ ප්‍රශ්න කර ඇතැයි දැනගන්නට ඇත.
මේ සම්බන්ධයෙන් තවත් කිහිප දෙනෙකුගෙන් ඉදිරි දිනවල ප්‍රකාශ සටහන් කර ගැනීමට නියමිතය. සිද්ධිය සම්බන්ධයෙන් මුලින්ම ප්‍රකාශ සටහන් කර ගැනුණේ වින්දිත නිලධාරිනියගෙනි. දින දෙකක් පුරා ඇයගේ ප්‍රකාශ සටහන් කර ගැනිණ.
පාර්ලිමේන්තුවේ තොරතුරු පද්ධති සහ කළමනාකරණ දෙපාර්තමේන්තුවේ ඇතැම් නිලධාරිනියන්ට සිදුවී ඇතැයි පැවසෙන හිංසන සහ අඩන්තේට්ටම් සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වීමට මෙම කමිටුව පත් කරනු ලැබුවේ කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා විසිනි. දීර්ඝ විමර්ශන වලින් අනතුරුව කමිටුවේ වාර්තාව හිටපු මහාධිකරණ විනිසුරුවරිය විසින් කතානායකවරයාට නුදුරේදීම බාර දෙනු ලැබීමට නියමිතය.

