මැතිසබේ විහිලු කතා සෙල්ලම දෙවියන්ගේ නාමයෙන් නවත්වන්න


(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න )

ජනතාවගේ ප්‍රශ්නවලට උත්තර සොයනවා  වෙනුවට  විවිධ විහිළු කතා සපයමින්  මැතිසබයේ කරන සෙල්ලම වහාම නැවැත්විය යුතු බව දෙවියන්ගේ නාමයෙන් ඉල්ලා සිටින්නේ යැයි   රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී වලේබොඩ මහතා පාර්ලිමේන්තුවේදී අද  (5) පැවැසීය.

එසේම ආණ්ඩුව සහ  කැබිනට් මණ්ඩලය ජනතාවගේ ජීවිත සමඟ ෆුට් බෝල් ගැසීම  නවතා හැකි ඉක්මනින්ම  ජනතාවට ඉන්ධන , ගෑස්  ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ  ලබාදීමට  කටයුතු කළ යුතු බවද හෙතෙම සඳහන් කළේය.

ඔහු මෙසේ පැවසුවේ විදේශ විනිමය පනත යටතේ නියෝග පිළිබඳ විවාදයේදීය.

ගාමිණී වලේබොඩ මහතා එහිදී මෙසේද සඳහන් කළේය.

රටට අවශ්‍ය ඩොලර් විවිධ අංශ වලින් ලැබෙනවා. නමුත් මෙතන තියෙන ප්‍රශ්නය නම්  මේවා මේ ආණ්ඩුවට කැබිනට් මණ්ඩලයට  කළමනාකරණය කරන්න බැරි එකයි. ලැබෙන ඩොලර් ප්‍රමාණය ආණ්ඩුව නිසි ලෙස කළමනාකරණය කළ යුතුයි. එසේ නොකළොත්  මීට වඩා ප්‍රශ්න ඇතිවිය හැකියි. පසුගියදා ඇතිවූ සිද්ධීන්වලදී මන්ත්‍රීවරුන්ගේ ජීවිතවලින් පවා වන්දි ගෙවන්න සිද්ධ වුණා. එවැනි  අවාසනාවන්ත සිද්ධීන් ඉදිරියට සිදුවීම වැලැක්වීම  ආණ්ඩුවේ වගකීමයි.

එසේම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන ගෙන විත් ජනාධිපති වරයාගේ බලතල අඩු කර  රටේ ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු  කිරීමට කටයුතු කිරීම කාලීන අවශ්‍යතාවක්. ජාත්‍යන්තරයේ විශ්වාසය හා සහයෝගය ලැබෙන්නේ ඒ ආකාරයට  කටයුතු කළහොත් පමණයි.

එසේම මෙවැනි අටවා ගත්ත ආණ්ඩුවකට ඉදිරියට යන්න බැහැ. රටේ ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීමට නම් සියලු පක්ෂ එකතු කරගත් සර්ව පාක්ෂික  ආණ්ඩුවක් පිහිටුවිය යුතුයි. කෙටි කාලයක් සඳහා එසේ සර්ව පාක්ෂික ආණ්ඩුවක් පත් කරගෙන පසුව මහ මැතිවරණයකට ගොස් ජනතාවට කැමති පුද්ගලයන්  තෝරා ගැනීමට අවස්ථාව දිය හැකියි . ජනාධිපතිවරයා ජනතාව ඉල්ලා සිටින ඒ වැඩපිළිවෙළ සම්බන්ධයෙන් වහාම අවධානය යොමු කර කටයුතු කළ යුතුයි.