මැතිවරණයට වෙන්කළ මුදල් පරිස්සමෙන් පාවිච්චි කරන්න තීරණයක්


(අංජුල මහික වීරරත්න)

රජයේ පවත්නා සීමිත  මූල්‍ය අවකාශය තුළ 2024 වර්ෂය සඳහා වන අයවැය ඇස්තමේන්තු මගින් රුපියල් බිලියන දහයක් මැතිවරණ පැවැත්වීම වෙනුවෙන් වෙන් කර ඇති බවත් ජනාධිපතිවරණයට සහ මහ මැතිවරණයට අදාළ වියදම් එකී ප්‍රතිපාදන තුළ කළමනාකරණය කර ගැනීමට සිදුවන බවත් අමාත්‍ය මණ්ඩලය විසින් සැලකිල්ලට ගෙන තිබේ.

එමෙන්ම පළාත් සභා මැතිවරණය සහ පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සඳහා අවශ්‍ය අරමුදල් රජයේ පවත්නා සීමිත මූල්‍ය අවකාශය තුළ 2025 වසර සඳහා වන අයවැය මගින් ලබාදීමට සිදුවන බවද අමාත්‍ය මණ්ඩලය විසින් නිරීක්ෂණය කර ඇත.

2025 වර්ෂයේදී එකී මැතිවරණ දෙක පැවැත්වීමට ප්‍රථම 1948 අංක 17 දරණ පරීක්ෂණ කොමිෂන්  සභා පනත ප්‍රකාරව ස්ථාපිත කර ඇති විශේෂ ගැසට් නිවේදනය මගින් ප්‍රකාශයට පත් කරනු ලැබ ඇති පරීක්ෂණ කොමිෂන් සභාව විසින් ඉදිරිපත් කිරීමට නියමිත නිර්දේශය මත පදනම අවශ්‍ය වන්නේ නම් අදාල මැතිවරණ නීති සඳහා වන සංශෝධන පාර්ලිමේන්තුවේ අනුමැතිය මත හඳුන්වා දිය යුතු බවද අමාත්‍ය මණ්ඩලය විසින් වැඩි දුරටත් සැලකිල්ලට ගෙන තිබේ.