මාර අලියෙක් කැකිරාවේ


(කුෂාන් ජයවර්ධන)

රාත්‍රි කාලයේ නිවාසවලට පැමිණ දොරවල්වලට තට්ටු කර විවෘත කරවා ගැනීමට උත්සාහ දරා විවෘත නොකෙරන නිවාසවලට පහර දෙන වන අලියකු පිළිබදව කැකිරාව ප්‍රදේශයෙන් වාර්තා වෙයි.

ඒ අවස්ථාවලදී එම වන අලියා කලහකාරී ලෙස හැසිරෙන බව ප්‍රදේශවාසීහු කියති.

මෙම වන අලියා ඉකුත් දිනෙක රාත්‍රියේ කැකිරාව ශාස්ත්‍රවෙල්ලිය ප්‍රදේශයේ නිවෙසකට ද පැමිණ එම නිවෙසේ දොරට තට්ටු කර නිවැසියන් දොර විවෘත නොකිරීම නිසා එම දොරට පහරදී කඩා දමා ඇත.

රාත්‍රි කාලයේ සිය නිවෙසේ ප්‍රධාන දොරට කිසිවකු තට්ටු කරන බව ඇසී එම නිවැසියන් ජනේලයකින් එබී බලන විට නිවෙසට පැමිණ ඇත්තේ වන අලියකු බව දැන ගෙන ඇත.

ඒ සමග කලබලයට පත්ව ඇති නිවැසියන් නිවෙසේ කාමරයක් තුළ සැගව ඇත. සුළු වේලාවක් දොරට තට්ටු කරමින් සිටි වන අලියා පසුව එම දොරට පහර දී කඩා බිඳ දමා එහි දොර අගුලේ කොටසක් ද රැගෙන කලාවැව ජාතික උද්‍යානය දෙසට පලා ගොස් තිබිණ. දොර කඩා දැමූ වන අලියා එම නි‍වෙස ආසන්නයේ තිබූ කෙසෙල් වගාවකට ද හානි කර තිබිණ.