මාධ්‍යවේදීන් දංගෙඩියට යැවීමේ පනතක් පාර්ලිමේන්තුවට


(කාංචන කුමාර ආරියදාස)
 
මාධ්‍යවේදීන්ට දඬුවම් සහ දැඩි දඬුවම් පැමිණවිය හැකි, සිංගප්පූරුවේ දැනට ක්‍රියාත්මක  නව  ආරක්ෂිත අණ පනත්  ලංකාවේ ක්‍රියාත්මක කිරීමට ඇති හැකියාව සොයාබැලීම සඳහා හෙට(24) පාර්ලිමේන්තුවේ සාකච්ඡාවක් පැවැත්වෙන බව ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ සභාපති අධිනීතිඥ කොග්ගල වෙල්ලාල මහතා පැවසීය.
 
එම  සාකච්ඡාවට තමාව ද කැඳවා තිබෙන බවත් එම නීතිය ක්‍රියාත්මක කිරීමට තමාද විරෝධය ප්‍රකාශ කරන බවත් ඒ මහතා පැවසීය.
 
වෙල්ලාල මහතා මේ බව පැවැසුවේ  පුවත්පත් මණ්ඩලය මගින් මාතලේ දී සංවිධානය කර තිබූ මාධ්‍යවේදී වැඩමුළුවක්  අමතමිනි.
 
දැනට පාර්ලිමේන්තුවේ සාකච්ඡා කරමින් පවතින්නේ පාස්කු ඉරිදා ත්‍රස්ත ක්‍රියාවන් සම්බන්ධ නීති සංශෝධනය විය යුතු ආකාරය පිළිබඳව බවත්, එහිදී එක්තරා නිලධාරියෙකු සිංගප්පූරුවේ අලුතින් සැකසූ නීති මෙරටට රැගෙන ආ යුතු යැයි යෝජනා කළ බවත් මාධ්‍යවේදීන් සමඟ සාකච්ඡාවකට එක්වූ සභාපති කොග්ගල වෙල්ලාල මහතා කියා සිටියේය.
 
සිංගප්පූරුවේ  නව පනතේ අසභ්‍ය ප්‍රකාශන පිළිබඳව දඬුවම් සහ දැඩි දඬුවම් ලබාදීමේ ක්‍රමවේදයක් පවතින බවත් හෙට(24) එම යෝජනා ගෙනෙන  සාකච්ඡාවේදී ප්‍රකාශයක් කිරීමට තමාට ලැබුණහොත් ඊට තරයේ විරුද්ධ වන බවත් සභාපතිවරයා සඳහන් කළේය.

මාධ්‍යවේදීන් වඩාත් බුද්ධිමත්ව කටයුතු කළ යුතු බවත් කටකථා අසත්‍ය ප්‍රචාර පැතිරවීමෙන් වැළකිය යුතු බවත් හෙතෙම පැවසීය. පසුගියදා ප්‍රහාරය එදා සැලසුම් කළ එකක් නොව වසර ගණනාවක සිට සැලසුම් කළ එකක් බවද කටකතා සහ ප්‍රචාර නිසා මෙවැනි දෑ සිදුවන බවද සභාපතිවරයා පෙන්වා දුන්නේය.
 
ඉන්දියාවේ මෙවැනි මතවාද ප්‍රකාශ කිරීමේ දී දැඩි ලෙස ප්‍රවේශම් වන බවත්, මාධ්‍ය මගින් ප්‍රචාරය වූ වචන දෙකකින් ඉන්දියාවේ විශාල මිනිස් ඝාතනයක් සිදු වූ බවද එය තවමත් කතාබහට ලක්වන බවද හෙතෙම පෙන්වා දුන්නේය. 
 
ඉන්දිරා ගාන්ධි මහත්මියව ඝාතනය කළ අවස්ථාවේදී එක්තරා රූපවාහිනි නාලිකාවකින් ‘සික් ජාතිකයකු’ ඉන්දිරා ගාන්ධි ඝාතනය කළේ යැයි ප්‍රචාරය කිරීමත් සමඟ පැයක් ඇතුළත ඉන්දියාවේ  සික් ජාතිකයන් 1300 දෙනෙකු ඝාතනය වූ බවද සභාපතිවරයා පෙන්වා දුන්නේය. එම නිසා වචන භාවිතයේ දී මාධ්‍යවේදීන් දැඩි ලෙස වගකීම් සහගත යුතු බව හෙතෙම වැඩිදුරටත් පැවසීය.