මහවැලි ගඟ වසා ගත් මනම්පිටිය


(නිමල් ජයරත්න) 

පොළොන්නරුව මනම්පිටිය මහවැලි ගඟ පිටාර ගැලීමත් මනම්පිටිය නගරය  අඩි හයක් පමණ ජලයෙන් යටවීමත් සමග නගරයේ සහ අවට නිවාසවල කොටු වූ පවුල් සීයක සාමාජිකයන් දෙසීයක් පමණ ආරක්ෂිත ස්ථාන කරා රැගෙන යාමට ආපදා සහන සේවා අංශ කටයුතු කළේය.

දිඹුලාගල ආපදා සහන සේවා නිලධාරීන්, මනම්පිටිය පොලිසිය, යුද හමුදාව, සහ ප්‍රදේශයේ තරුණයන් එක්ව, මනම්පිටිය නගරයේ සහ සර්වෝද ගම්මානයේ නිවාස වල කොටු වූ ජනතාව හා මහ ටැක්ටර් සහ බැකෝ යන්ත්‍රවල ආධාර ඇතිව ආරක්ෂිත ස්ථාන කරා රැගෙන යාමට පියවර ගැනිණි.

මහවැලි ගඟ පිටාර ගැලීම හේතුවෙන් මනම්පිටිය දුම්රිය ස්ථානයද අඩි පහක් පමණ ජලයෙන් යටව පවතී.

මනම්පිටිය දුම්රිය ස්ථානය ආසන්නයේ හා ඒ අවට ගෙවතුවල දමා දුම්රියෙන් ගමන් ගිය අයගේ යතුරු පැදි පහළොවකට ආසන්න සංඛ්‍යාවක් ගසාගෙන ගොස් ඇති අතර තවත් ප්‍රමාණයක් දුම්රිය පොළ ආසන්නයේ යටව පවතී.

ගංවතුරට යටව බේරාගත් පුද්ගලයන් මනම්පිටිය දමිළ මහා විද්‍යාල‍යේ සහ නිශ්ශංක මල්ලපුර විද්‍යාලයේ රඳවා ඔවුන්ට අවශ්‍ය සහන ලබාදීමට කටයුතු කර ඇති බව දිඹුලාගල ප්‍රාදේශීය ලේකම් හයිරුන් නිශා මහත්මිය සඳහන් කළාය.

පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ හතටම අයහපත් කාලගුණය බලපා ඇති අතර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ හතේ කුඹුරු බිම් රැසක් ජලයෙන් යටව පවතින අතර එය අක්කර ගණනාව කොතෙක්ද යන්න මෙතෙක් කිව නොහැකි බව, පොළොන්නරුව ආපදා සහන සේවා නිලධාරී පාලිත උපුල් කුමාර මහතා අප කළ විමසීමකදී පැවසීය.