මහල් නිවාස අයිතිය සින්නක්කරව දෙන්න කැබිනට් පත්‍රිකාවක්


(අංජුල මහික වීරරත්න)

මහල් නිවාස වල පදිංචිව සිටි මුල් අයිතිකරුවන්ගේ දරුවන් වෙත ඒවායේ  සින්නක්කර අයිතිය පැවරීමට ඇති හැකියාව සොයා බලන ලෙස නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අමාත්‍යංශ නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

ඒ අනුව බොරැල්ල, ඕවල් වීව් රෙසිඩන්සීස් නිවාස ව්‍යාපෘතියේ නිවාස ඒකකයන්හි මුල් අයිතිකරුවන්ගේ දරුවන්ට  සින්නක්කර අයිතිය පැවරීම සඳහා අනුමැතිය ඉල්ලමින් අමාත්‍යවරයා විසින් අමාත්‍ය මණ්ඩලයට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර තිබේ.

බොරැල්ල, ඕවල් වීව් රෙසිඩන්සීස් නිවාස ව්‍යාපෘතිය මධ්‍යම අදායම් නිවාස ව්‍යාපෘතියක් ලෙස රාජ්‍ය සේවකයන්ගේ ජීවන තත්ත්වය නංවාලීම සඳහා නාගරික සංවර්ධන අධිකාරිය විසින් ආරම්භ කරන ලද්දක් වන අතර එය නවීන අංගෝපාංග වලින් යුක්තව මහල් 24කින් සමන්විත වේ.

නිවාස ඒකක 608න් සහ වාණිජ ඒකක 5කින් මෙම නිවාස සංකීර්ණය සමන්විත වේ.

ඒ අනුව නිවසට අදාළව සම්පූර්ණ වටිනාකම හා දඩ මුදල් ගෙවා අවසන් කරන ලද ගැනුම්කරුවන් 247ක් වෙත මෙම නිවාස ව්‍යාපෘතියේ නිවාස සින්නක්කර පදනම මත බැහැර කිරීම සිදුකර ඇත.