(ආර්.එෆ්.එම්.සුහෙල්)
නුවරඑළිය මහ නගර සභාවේ ජල අංශයේ සේවය නියුතුව සිට රාජකාරී අවසන් කර නිවස බලා යමින් සිටි නුවරඑළිය මහ නගර සභා වතු නිවාසයේ පදිංචි සෙල්වරාජ් නඩරාජ් වයස (අවු:44) තිදරු පියෙකුගේ සිරුර අද (25) නුවරඑළිය ග්‍රෙගරි වැව අසර තලගල ඔයෙන් සොයා ගත් බව නුවරඑළිය පොලීසිය පවසයි.
ඊයේ (24) සවස 06.00ට පමණ මිය ගිය පුද්ගලයා නුවරඑළිය මහ නගර සභාවට රාජකාරී සදහා පැමිණෙන යතුරුපැදිය ග්‍රෙගරි වැව අසල පාලමක් මත අනතුරට ලක්ව තිබී පොලිසියට හමුවී තිබුණ ද එම යතුරුපැදී ගමන් ගත් පුද්ගලයා පිළිබඳ කිසිත් තොරතුරක් සොයා ගැනීමට නොහැකි වී තිබුණු බවද පොලිසිය කියයි.
ඥාතීන් හා පොලිසිය විවිධ ස්ථානවල මියගිය පුද්ගලයා පිළිබඳ සොයා බැලීමෙන් අනතුරුව අද (25) උදැසන 11.00ට පමණ ඊයේ දින අනතුරට ලක් වූ යතුරුපැදිය සොයාගත් පාලම යටින් ගලායන තලගල ඔයෙන් ජීවිතක්ෂයට පත් වූ පුද්ගලයාගේ දේහය සොයා ගැනීමට හැකි වූ බවද නුවරඑළිය පොලිසිය වැඩිදුරටත් පැවසීය.
අධිකරණ වෛද්‍ය නිලධාරියා විසින් පශ්චාත් මරණ පරීක්ෂණ සිදුකිරීමට නියමිත අතර මියගිය පුද්ගලයාගේ මරණය අනතුරක් ද ඝාතනයක්ද යන වග සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන නුවරඑළිය පොලිසිය සිදු කරනු ලබයි .