මහ වැස්සෙන් යාපනයේ පුද්ගලයින් 222කට පීඩා


(ප්‍රදීප් කුමාර  සහ රොමේෂ් මධුෂංක)

උතුරු පළාතට බලපා ඇති අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් වවුනියාව දිස්ත්‍රික්කයේ ප්‍රධානතම ජලාශයවන පාවක්කුලම ජලාශයේ වාන් දොරටු විවෘත කර තිබේ. 

ඒ අනුව අදාළ ජලාශයේ වාන් දෙරටු 04 ම මේ වන විට විවෘත කර ඇති අතර පහත්බිම්වල ජනතාවට ඒ පිළිබඳව අවධානයෙන් පසුවන ලෙස වාරි ඉංජිනේරුවරුන් දැනුවත් කර තිබේ.

මේ වන විටත් වවුනියාව දිස්ත්‍රික්කයේ වැව් අමුණු සියල්ල පිටාර ගැලීමට පටන් ගෙන ඇති අතර එත් සමඟ පාවක්කුලම ජලශයේ ද ජල මට්ටම අඩි 19.4 දක්වා ඉහළ ගොස් තිබේ. ඒත් සමඟ ජලාශයේ වන දොරටු 04 අගල් 06 බැගින් විවෘත කළ බව වාරි ඉංජිනේරුවරුන් සඳහන් කරයි. 

කන්දසාමි නගර්, ක්රිස්තවකුලම් පවක්කුලම් හා වෙප්පම්කුලම් යන ප්‍රදේශවල ජනතාවට මෙම වන ජලය ගලා යාමත් සමඟ ගංවතුර අවධානමක් මතු විය හැකි බැවින් අවධානයෙන් පසු වන ලෙස අපදා කළමනාකරණ නිලධාරින් සඳහන් කරයි. 

අධික වර්ෂාව සමඟ ඇති වූ සුලිකුණාටුවක් හේතුවෙන් යාපනයේ ප්‍රදේශ කිහිපයක දී පුද්ගලයින් තිදෙනෙකු තුවාල ලබා ඇති අතර නිවාස හානි සමගින් පුද්ගලයින් 222 දෙනෙකු පීඩාවන්ට පත්ව ඇතැයි ආපදා කළමනාකරන ඒකකය පැවසීය.