මවගේ පැමිණිල්ල මත වළදැමූ බිළිඳාගේ සිරුර ගොඩගැනීමට නියෝග


( පුෂ්පකුමාර ජයරත්න )

අලුත උපන් තම බිළිඳා මරණයට පත් වුණේ වෛද්‍ය කණ්ඩායම විසින් නොසැලකිලිමත් ලෙස කරන ලද සිසේරියන් සැත්කමක් හේතුවෙන් බවට කාන්තාවක් කළ පැමිණිල්ලකට අනුව මියගිය බිළිඳාගේ  සිරුර පශ්චාත් මරණ පරීක්ෂණයකට ලක් කිරීම සඳහා නැවත ගොඩ ගැනීමට කටයුතු කරන ලෙස කුරුණෑගල ප්‍රධාන මහේස්ත්‍රාත් සම්පත් හේවාවසම් මහතා අද (26) නියෝග කළේය.

තම බිළිඳාගේ මරණය සැකසහිත බවට කුරුණෑගල වැල්ලව රිකිල්ලගමුවේ පදිංචි කාන්තාවක විසින් කරන ලද පැමිණිල්ලක් සම්බන්ධයෙන් කුරුණෑගල කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් විසින් අධිකරණයට ඉදිරිපත් කරන ලද කරුණු සැලකිල්ලට ගෙන මහේස්ත්‍රාත්වරයා එම නියෝගය කළේය.  

ඒ අනුව කුරුණෑගල නාගරික සුසාන භූමියේ වළ දමා ඇති බිළිඳාගේ සිරුර කුරුණෑගල ප්‍රධාන මහේස්ත්‍රාත් සම්පත් හේවාවසම් මහතා සහ කුරුණෑගල අධිකරණ වෛද්‍යවරයා ඉදිරියේ මේ මස 28 වැනිදා ගොඩ ගැනීමට නියමිතය.