(රොෂන් තුෂාර)
ඊශ්‍රායල් රැකියා ගිවිසුම සම්බන්ධයෙන් අල්ලස් කොමිසම සිදු කරන විමර්ශනයන්හිදී අත්අඩංගුවට පත් වුවහොත් ඇප ලබා ගත හැකිවන පරිදි පූර්ව ඇපයක් නියම කරන්නැයි ඉල්ලා හිටපු කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා ගොනු කළ පෙත්සම ලබන 08 දින විමසීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංක එස් බෝදරගම මහතා අද දින නියම කළේය.
සැකකරුට පූර්ව ඇපයක් නියම කිරීම සම්බන්ධයෙන් විරුද්ධත්වය ප්‍රකාශ කරන බවට අල්ලස් කොමිසම ගොනු කළ ලිඛිත කරුණු සලකා බැලීමෙන් පසුව මෙසේ පැමිණිල්ල විමසීමට දින නියම කළේය.
අද මෙම පැමිණිල්ල කැඳවූ අවස්ථාවේදී අල්ලස් කොමිසම ඇප ලබාදීමට විරුද්ධත්වය ප්‍රකාශ කිරීමෙන් ලිඛිත කරුණු අධිකරණයට ඉදිරිපත් කළේය.
වග උත්තරකරුවන් විසින් ඉදිරිපත් කරන ලිඛිත කරුණු සලකා බලා ලබන 06 වැනි දින ඊට අදාළ ලිඛිත දේශන යොමු කරන ලෙස නියෝග කළ මහේස්ත්‍රාත්වරයා පැමිණිලි විමසීම ලබන අට දිනට නියම කළේය.
මෙරට තරුණයින්ට විදේශ රැකියා ලබාදීම සඳහා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය හා ඊශ්‍රායල් රාජ්‍යය අතර 2023 වසරේ ඇතිකරගත් කෘෂිකාර්මික අංශයේ රැකියා ගිවිසුමේදී සිදු වූයේ යැයි කියන දූෂණ ක්‍රියා සම්බන්ධයෙන් අල්ලස් කොමිසම මෙම විමර්ශනය ආරම්භ කර ඇත. විමර්ශනය සම්බන්ධයෙන් අත්අඩංගුවට පත් වුවහොත් ඇප ලබා දෙන්නයි ඉල්ලා නානායක්කාර මහතා පසුගිය 26 දින මෙම පෙත්සම ගොනු කළේය.
එහි වග උත්තරකරුවන් ලෙස අල්ලස් කොමිසම,කොමිසමේ අධ්‍යක්ෂ ජෙනරාල් හා විමර්ශන භාර ස්ථානාධිපතිවරයා නම් කර තිබිණි.

