මන්දකට හසුකර දිවියා මැරූ තිදෙනෙක් අත්අඩංගුවට


(අජිත්ලාල් ශාන්තඋදය)

උඩවලව ජාතික උද්‍යානයේ ජීවත්වූ දිවියෙකු මන්දකට හසුකර මරාදැමී යැයි සැකපිට  හම්බෙගමුව පොලීසිය විසින් අත්අඩංගුවට ගත් තරුණයන් තිදෙනෙකු අද (6) වැඩිදුර විමර්ශන සඳහා සෙවනගල පොලීසියට බාරදෙනු ලැබීය.

පසුගිය දෙසැම්බර් 31 වැනිදා උඩවලව ජාතික උද්‍යානයේ හම්බෙගමුව පොලිස් බල ප‍්‍රදේශයට අයත් සීමාවේ තැබූ මන්දකට හසුවී සිටියදී මෙම දිවියා සොයා ගනු ලැබ ඇත.

පාරේ සිට මීටර් 50 ක් පමණ වනෝද්‍යානය දෙසට වන්නට මෙම මන්ද අටවා තිබූ බව පොලීසිය කළ පරීක්‍ෂණයෙන් අනාවරණය විය.

මන්දට හසුවූ දිවියා මියගොස් තිබූ අතර සෙවනගල පොලිස් වසමේ කුමාරපුර ප‍්‍රදේශයේ කරුණයකු විසින් එම සතා ත‍්‍රිරෝද රථයක පටවාගෙන නිවසට ගෙන ගොස් ඇත. වැඩිහිටියන්ගේ විරෝධය මත දිවියාගේ මළකුණ ආපසු ගෙනවිත් ඇළකට දමා තිබියදී පසුව එය දුටු පිරිසක් වනජීවී දෙපාර්තමේන්තුවට දන්වා තිබිණි.

වනජීවී දෙපාර්තමේන්තුවෙන් පැමිණ දිවියාගේ සිරුර උඩවළව වනජීවී පශු වෛද්‍ය ඒකකයට ගෙන ගොස් පශ්චාත් මරණ පරික්‍ෂණය පැවැත්වීමේදී අනාවරණය වී තිබුණේ මන්දකට හසුවීමෙන් දිවියා මියගොස් ඇති බවයි.

වනජිවී දෙපාර්තමේන්තුව හම්බෙගමුව පොලිස්ථානයට කළ දැනුම්දීමක් අනුව කළ විමර්ශන වලින් පසුව  සැකකරුවන් තිදෙනා අත්අඩංගුවට ගෙන තිබේ.