මන්ත්‍රී ප්‍රේමලාල්ගේ අභියාචනය සලකා බැලීමට දිනයක්


( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )

2015 ජනාධිපතිවරණ සමයේදී රත්නපුර කහවත්ත ප්‍රදේශයේ දී  පුද්ගලයකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් වරදකරුවන්  වී මරණ දඩුවම් නියම වූ පාර්ලිමේන්තු මන්ත්‍රී  ප්‍රේමලාල් ජයසේකර මහතා ඇතුළු තිදෙනකු  එම දඩුවම ඉවත් කොට තමන් නිදොස් කොට නිදහස් කරන ලෙස ඉල්ලා ගොනු ඇති අභියාචන පෙත්සම ලබන නොවැම්බර්  මස 25 වැනිදා සලකා බැලීමට අභියාචනාධිකරණය අද (04) දින නියම කළේය.

මෙම අභියාචන පෙත්සම නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ආර්.ගුරු සිංහ යන මහත්වරුන් ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල  හමුවේ මෙම පෙත්සම කැඳවනු ලැබිණි.

එහිදී පෙත්සම මෙදිනට සලකා බැලීමට  විනිසුරු මඩුල්ල දින නියම කරන ලදී.

2015 වර්ෂයේ ජනාධිපතිවරණය අතරතුර කහවත්ත  ප්‍රදේශයේ මැතිවරණ ප්‍රචාරක රැලියකට හානි කර ශාන්ත දොඩංගොඩ නමැත්තා  වෙඩි තබා  මරා දැමීම සම්බන්ධයෙන් ප්‍රේමලාල් ජයසේකර මහතා ඇතුලූ විත්තිකරු වන් තිදෙනෙකු ට එරෙහිව නීතිපතිවරයා විසින් නඩු පවරා තිබුණි.

එහි තීන්දුව 2020 ජූලි මස 31  ලබා දෙමින්  රත්නපුර මහාධිකරණය පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර මහතා ඇතුළු  විත්තිකරුවන් වැරදිකරුවන්  බවට තීරණය කරමින්   මරණ දඩුවම නියම කළේය.

එකී නඩු තීන්දුව දෝෂ සහිත බැවින් එය බල රහිත කරන ලෙස ඉල්ලා ප්‍රේමලාල් ජයසේකර මහතා ඇතුළු තිදෙනා  මෙම පෙත්සම ගොනු කළහ.

අභියාචන පෙත්සම්කරුවන් වෙනුවෙන් ජනාධිපති නීතීඥවරු වන නලීන් ලද්දුවහෙට්ටි,  අනූජ ප්‍රේමරත්න, නීතීඥ   බුද්ධික චන්ද්‍රසේකර,  යන මහත්වරු  පෙනී සිටියහ.

නීතිපතිවරයා වෙනුවෙන් රජයේ නීතීඥ සුදර්ශන සිල්වා  පෙනී සිටියේය