මන්ත්‍රින්ට ඡන්දෙට එන්න හමුදාවෙන් තෙල්


(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න )

පාර්ලිමේන්තුවට පැමිණෙන මන්ත්‍රීවරුන්ට  තමන් පදිංචි ප්‍රදේශයන්හි  යුද හමුදා කඳවුරුවලින් ඉන්ධන ලබා ගැනීමට අවශ්‍ය පහසුකම් සපයා  ඇතැයි  පාර්ලිමේන්තු ආරංචි මාර්ග  වලින් පැවසේ.

ඉන්ධන ලබා ගැනීමට ක්‍රමවේදයක් නොමැති බවට මන්ත්‍රීවරුන් රැසක් කතානායක වරයාට කළ පැමිණිලි අනුව ඉන්ධන ලබා ගැනීම සඳහා  මේ ආකාරයට පහසුකම් සලසා දී ඇත.

මේ අතර අභිනව  ජනාධිපතිවරයා තෝරාපත් කරගන්නා ඡන්ද විමසීමේ අවස්ථාවට සහභාගීවීම සඳහා පාර්ලිමේන්තුවට  පැමිණෙන සියලුම මන්ත්‍රීවරුන්ට විශේෂ පොලිස් ආරක්ෂාව ලබාදීමට  වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, ත්‍රිවිධ හමුදාපතිවරුන් සහ පොලිස්පතිවරයාට උපදෙස්දී ඇත.

ඡන්ද විමසීමට පැමිණෙන මන්ත්‍රීවරුන්ට  විවිධ කැරලිකාර කණ්ඩායම්  සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ තර්ජන ගර්ජන  කරමින්  සිටින හෙයින්  සියලු මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව වැඩි කිරීමට මෙසේ පියවර ගත් බව රජය පවසයි.

අභිනව ජනාධිපතිවරයා තෝරාගැනීමේ  ඡන්ද විමසීම හේතුවෙන් පාර්ලිමේන්තුව සහ ඒ අවට ප්‍රදේශ වල ආරක්ෂක විධිවිධාන දෙගුණයකින් පමණ වැඩි කර ඇති අතර පොලිසියට අමතරව ත්‍රිවිධ හමුදා නිලධාරීහු  කණ්ඩායම්ද යොදවනු ලැබ සිටිති.

පාර්ලිමේන්තුවට පිවිසෙන ප්‍රධාන මාර්ග ආරක්ෂක හේතු මත   සම්පූර්ණයෙන්ම වසා දමා ඇති අතර එම මාර්ගවලට ඇතුළුවිය හැක්කේ ඒවායෙහි පදිංචි කරුවන්ට පමණි.

පාර්ලිමේන්තුව අවට මාර්ගවල යුදහමුදාවේ විශේෂ රථ රඳවා තිබෙනු ඊයේ  දැකගත හැකිවිය.

පාර්ලිමේන්තුවට අමුත්තන් පැමිණීමද ආරක්ෂක පියවරක් ලෙස නතර  කර ඇති අතර පාර්ලිමේන්තුවේ  මහජන ගැලරිද වසා දමා ඇත.

පාර්ලිමේන්තුවට පැමිණෙන මාධ්‍යවේදීන් සඳහාද අලුත් උපදෙස් මාලාවක් වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු  මහතා විසින්  ඊයේ  නිකුත් කරනු  ලැබීය.