
අවුරුදු පහක් තිස්සේ වැඩ ආරම්භ නොකර අතර මග නැවතී තිබූ මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත සිට මීරිගම දක්වා වූ කොටසේ වැඩ කඩිනමින් ආරම්භ කරන බව මහාමාර්ග අමාත්‍යය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසයි.
ජනාධිපති ගෝඨභය රාජපක්ෂ මහතාගේ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් මත මධ්‍යම අධිවේගයේ කඩවත - මීරිගම කොටසේ වැඩ කඩිනමින් ආරම්භ කරන බව මහාමාර්ග අමාත්‍යංශය විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක සඳහන් වේ.
මෙම කොටසේ වැඩ ආරම්භ කිරීම සඳහා මූලික අත්තිකාරම් මුදලද ඊයේ (අගෝස්තු 25) වැනිදා ගෙවන ලදි.
ටෙන්ඩර් ප්‍රදානය කර තිබුණත්, වසර 05 ක් තිස්සේ මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත සිට මීරිගම දක්වා වූ කොටසෙහි ඉදිකිරීම් ආරම්භ කර නොතිබිණ. එබැවින් එහි ඉදිකිරීම් වහාම අරම්භ කරන ලෙස මහා මාර්ග අමාත්‍යශයේ ලේකම් ආර්.ඩබ්ලිව්.ආර්.ප්‍රේමසිරි මහතාට උපදෙස් දී තිබේ.
මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත සිට මීරිගම දක්වා ඉදිකිරීම වෙනුවෙන් ගෙවිය යුතු මූලික අත්තිකාරම් මුදල සම්පූර්ණ කොන්ත්‍රාත් මුදලින් 15% කි. එය දේශීය මුදල් වලින් ගෙවිය යුතුය. එම අත්තිකාරම් මුදල වන රුපියල් බිලියන 16.67 ක් ඊයේ (25 වැනිදා) අදාළ කොන්ත්‍රාත් ආයතනය වෙත ගෙවන ලද බවත් අමාත්‍යංශ මාධ්‍ය නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.
මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත සිට මීරිගම දක්වා වූ කොටසෙහි දුර ප්‍රමාණය කිලෝමීටර 36.54 කි. මාර්ගයේ පළල මීටර 24.4 ක් වන අතර මංතීරු හතරකින් සමන්විතය. ගුවන් පාලම් මතින් යැවෙන දුර කිලෝමීටර 13.24 කි. මෙම කොටස සඳහා ඇස්තමේන්තු කර ඇති කොන්ත්‍රාත් මුදල රුපියල් බිලියන 158 කි.
පසුගිය රජය විසින් මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත සිට මීරිගම දක්වා වූ කොටස ඉදිකිරීම වසර 5 කින් පමණ ප්‍රමාද කිරීම හේතුවෙන් තවත් බිලියන 25 කපමණ මුදලක් වැඩිපුර ගෙවීමට සිදුවනු ඇති බවද අමත්‍යංශ ලේකම්වරයා සඳහන් කරයි. වැඩිපුර ගෙවන හැම රුපියලක්ම ජනතා මුදල් බවත් අමාත්‍යවරයා පැවසීය.
මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත සිට මීරිගම දක්වා කොටස ඉදිකිරීමට වසර 4ක් අවශ්‍ය වුවත් වසර 3 ක් ඇතුළත එහි ඉදිකිරීම් වේගවත් කොට අවසන් කර ජනතා අයිතියට පත්කරන බව අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා වැඩිදුරටත් පැවසූ බවත් අමාත්‍යංශ මාධ්‍ය නිවේදනයේ සඳහන් වේ.

