මත්කුඩු සමග විදෙස් ජාතිකයන් අටක් මුහුද මැදදි අල්ලයි


(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)

මාලදිවයින සාගර කලාපයේ සිට මෙරට මුහුදු සීමාව ඔස්සේ යාත්‍රා කරමින් තිබූ ධීවර යාත්‍රාවක් සෝදිසි කර එම යාත්‍රාවේ තිබූ හෙරොයින් ග්‍රෑම් 926ක තොගයක් සමග ඉරාන ජාතිකයන් හය දෙනෙකු සහපකිස්ථාන ජාතිකයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය කියයි.

එම ධීවර යාත්‍රාව ද පොලිස් බාරයට ගෙන ඇත.

ශ්‍රී ලංකා නාවික හමුදාව ලබා දුන් තොරතුරක් අනුව ගැඹුරු මුහුදේ සෝදිසි මෙහෙයුමක් සිදු කර මෙම විදේශිකයන් අට දෙනා හෙරොයින් සමග සැකපිට අත්අඩංගුවට ගන්නා ලදැයි පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ උසස් නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.

පොලිස් භාරයට ගත් ධීවර යාත්‍රාව කොළඹ වරායේ රංගන ජැටිය වෙත රැගෙන ඇවිත් ඇත.

අත්අඩංගුවට ගත් විදේශීය ජාතිකයින් අට දෙනා ට රැඳවුම් නියෝග ලබා ගැනීමට පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය කටයුතු යොදා ගෙන යයි.

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ කණ්ඩායමක් සැකකරුවන් සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යයි.