මත් ද්‍රව්‍ය සමඟ හමුදා සෙබළෙකු ඇතුළු නවයක් අල්ලයි


( නිශාන්ත කුමාර)

මීගහකිවුල කන්දකැටිය හා ඒ අවට ප්‍රදේශවල මත්ද්‍රව්‍ය බෙදා හැරීමේ නිරතව සිටි යුද හමුදා විශේෂ කාර්ය බළකායේ සෙබළෙකු සහ  ඔහු සමඟ ගංජා ජාවාරමේ නිරතව සිටි පුද්ගලයින් දෙදෙනෙකුද ඇතුළුව මත්ද්‍රව්‍ය ළඟ තබාගෙන සිටි පුද්ගලයින් නව දෙනෙකු සිදුකළ විශේෂ මෙහෙයුමකදී අත්අඩංගුවට ගත් බව කන්දකැටිය පොලිසිය පවසයි .

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ බලගොල්ල, කන්දකැටිය , තලදෙන ,මීගහකිවුල , අග්ගලාඋල්පොත හා ඒ අවට ප්‍රදේශවල පදිංචි   අවුරුදු 20-  43 වයස්වල පසුවන පුද්ගලයින් පිරිසකි.

 ජාවාරමට සම්බන්ධ ප්‍රධාන සැකකරු යුද හමුදා විශේෂ කාර්ය බළකායේ සෙබළෙකු වන අතර 43 වැනි වියේ  පසු වන මොහු අලෙවි කිරීම සඳහා රැගෙන විත් තිබූ හෙරොයින්ද  සමඟ  මුලින්ම බලගොල්ල ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන ඇත.

 අනතුරුව ඔහුගෙන් සිදු කරන ලද ප්‍රශ්න කිරීම්වලදී  ඔහු සමග මත් ද්‍රව්‍ය අලෙවි කිරීමේ නිරතව සිටි මීගහකිවුල සහ අග්ගලාඋල්පත ගම්මානයේ පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර දිගින් දිගටම සිදුකළ විමර්ශනවලදී තවත් සැකකරුවන් හය දෙනෙකු අත්අඩංගුවට ගැනීමට පොලිසියට හැකිවී ඇත.

මත් ද්‍රව්‍ය ජාවාරමේ  නිරතව සිටි ප්‍රධාන  සැකකරු හමුදා  සේවයෙන් නිවාඩු ලබා   පැමිණෙන විට මත්ද්‍රව්‍ය රැගෙන විත් මීගහකිවුල කන්දකැටි හා ඒ අවට ප්‍රදේශවල   පුද්ගලයින් සම්බන්ධ කරගනිමින් මත් ද්‍රව්‍ය අලෙවි කිරීමේ නිරතව සිටින බව මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.